ranil-basil-28-june-decition

ජුනි මාසයේ අවසන් සතියේදී රටේ අනාගතයට බලපාන විශේෂ දේශපාලන තීන්දුවක් ගැනීමට රජය සැරසෙන බවට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
මේ සඳහා බැසිල් හා රනිල් දෙන්නාම එක්වී ආණ්ඩුව වෙනුවෙන් තීරණයක් ගන්නට යන අතර
ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරු කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතු බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් ඔවුන්ට දැනුම්දී තිබේ.
නිවේදනය අනුව 28 වැනි බදාදා පස්වරු 5 ට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙයි.
සාකච්ඡාව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවත් මේ සඳහා බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවේ ආශිර්වාදය පසුබිමින් පවතින බවත් වාර්තාවේ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර පසුගියදා සාකච්ඡාවක් පැවැති අතර, ඊට එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ද සහභාගි වූවේය. එහිදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීම පිළිබඳව තීරණය කර තිබේ.
ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරුන්ට විදෙස්ගත වීමද තහනම් කර ඇති අතර, තවත් සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට නියමිත බවද ආණ්ඩු පක්ෂයේ ආරංචිමාර්ග කියයි.
ඇතැම් දේශපාලන ප්‍රවෘත්ති වලින් ඉඟි කර ඇත්තේ මෙදින සාකච්ඡාවේදී ඉදිරියට පවත්වන මැතිවරණය ජනාධිපතිවරණයක් ලෙස තීන්දුවක් ගන්නටත් එහි අපේක්ෂකයා රනිල්ද බැසිල්ද වෙනත් අයෙක්ද යන්න තීන්දු කිරීමටත් මෙහිදී කතාවෙනු ඇති බවයි. එසේම ඉදිරි මැතිවරණ වලදී එජාපය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සම්බන්ධ තීන්දුවක්ද ගන්නට නියමිතය.
මීට පෙර පළවූ වාර්තා වලින් කියැවුනේ ලබන නොවැම්බරයේ ජනපතිවරණයක් පවත්වන්නට රජය සූදානම් වන බවත් ඊට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයට කටයුතු කරමින් සිටින බවත්ය.