ජාතික පරිවර්තන මාර්ග සිතියම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද රාත්‍රී 8 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 9යක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ ඉදිරි පියවර සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා ප්‍රකාශ කිරීමට නියමිත බවයි.



ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙහිදී ශ්‍රි ලංකාවේ ජාතික පරිවර්තන මාර්ග සතියම පිළිබඳ පැහැදිළි අවබෝධයක් ලබාදීම මෙන්ම අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ඉදිරිපත් කිරීමට නියමිත බවය.

මේ අතර ආයතන කිහිපයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට එක්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ආයතන වන්නේ කොළඹ නෙළුම් කුලුන, ශ්‍රී ලංකා ටෙලිකොම්, නෝර්ත් සී, ත්‍රිපෝෂ සමාගම, ජාතික ලුණු සමාගම, සිමෙන්ති සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන කිහිපයකි.