සීගිරියේ සිංහ පාද මළුවට පිවිසීම සඳහා කාශ්‍යප රජ සමයේ සිට භාවිතා කරන ලද ඉපැරණි මාර්ගය යළි කැණීම් කර භාවිතයට යොදා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදල කටයුතු යොදා ඇතැයි එහි අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පැවසීය.
සිංහ පාද මළුව දක්වා දැනට පිවිසීමට ඇත්තේ එක මාර්ගයක් පමණක් බැවින්, එම මාර්ගයේ දැඩි තදබදයක් පවතින බවද ඔහු කීවේය.
සංචාරකයන් සීගිරිය නැරඹීමේදී පවතින තදබදය අවම කිරීමට මෙම ඉපැරණි මාර්ගයේ කැණීම් කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයිද මහාචාර්යවරයා පැවසුවේය.
සීගිරියේ සිංහ පාදය දක්වා පිවිසීමට හැකි මෙම ඉපැරණි මාර්ගයේ භූ දර්ශනය ඉතා අලංකාරවත් බවත්,සීගිරියේ උගුල් ගල දෙසින් මෙම මාර්ගය වැටී ඇතැයිද ඔහු කීවේය.
මෙම මාර්ගය කාශ්‍යප රජ සමයේ සිට පැවැති බවත්, මාර්ගය සකස් කිරීමෙන් පසුව සිංහ පාද මළුව දක්වා පිවිසීමේදී පවතින තදබදය අඩුවන බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
සිංහ පාද මළුවේ සිට සීගිරිය පර්වතය මුඳුනට නැඟීමේදීද තදබදයක් පවතින බවද,ඊළඟ අදියරේදී එම තදබදය වැළැක්වීම සඳහා යම් ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවේය.
සීගිරිය සීත මාලිගය වටා තිබෙන දිය අගල පසුකර මාලිගය නැරඹීම සඳහා එල්ලෙන පාලමක් ඉඳිකිරීමට කටයුතු යොදා ඇති බවද,එහි ඉඳිකිරීම් අවසන්වූ පසුව සංචාරකයන්ට අක්කරයකට වැඩි භූමි ප්‍රදේශයක් පැතිරී තිබෙන සීතා මාලිගා භූමිය නොමිලේ නැරඹීමට අවස්ථාව ලැබෙන බවද අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
සාලිය කුමාර ගුණසේකර
0 Comments