siri-dhamma-thera-issue

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්ගේ බැංකු ගිණුම්වලට අරගලයට සම්බන්ධ පිරිස්වලින් මුදල් ලැබී තිබුණේ දැයි සොයා බැලීම සදහා බැංකු හා මුල්‍යායතන 19ක ගිණුම් පරීක්ෂා කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ත්‍රස්ත මර්දන හා විමරිශන කොට්ඨාසයට ඊයේ (28) අවසර දුන්නේය. අරගලය පැවැති කාලවකවානුවේ දී අරගලයට  සම්බන්ධ අයගෙන් මෙම හිමිනමගේ බැංකු ගිණුම්වලට විදේශීයව හෝ දේශීය වශයෙන් කිසියම් මුදලක් ලැබී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුව ඇති බැවින් එම හිමිනමගේ ජාතික හැඳුනුම්පතට අදාළව බැංකු හා මුල්‍යායතන 19හි ගිණුම් ඇත්දැයි යන්න පරීක්ෂා කර බැලීමට නියෝග නිකුත් කරන්නැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.



ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මෝසමක් මගින් මෙම නඩුව ඊයේ (28) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය. ගාලුමුවදොර අරගල සිද්ධියට අදාළව ත්‍රස්ත මර්දන හා  විමර්ශන කොට්ඨාසය විසින් මෙම හිමිනම ත්‍රස්ත මර්දන පනතට අනුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 2022 වසරේ අගෝස්තු මාසයේදී ය. පසුව මාස තුනක කාලයක් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි සැකකාර හිමිනම නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉකුත් 2022 වසරේ නොවැම්බර් මස 18 වැනිදාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකාර හිමිනම රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වූයේ ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මස 23 වැනිදාය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිට නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප නියම වූ සිරිධම්ම හිමියන්ට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ මාස දෙකකට වරක් පෙනී සිටින ලෙසට අධිකරණයෙන් ඇප කොන්දේසියක් ද නියම කර ඇත.


නිමන්ති රණසිංහ