siril-gamini-speaks

ඇතැම් පාර්ශව බෞද්ධාගමට සිදුකරන නිගරු කිරීම් බලය දිනාගැනීමට සිදුකරන කුමන්ත්‍රණයක කොටස් බවට පෙනෙන්නට ඇතැයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ කොළඹ දී ඊයේ (31) පැවසූහ. බෞද්ධාගම ප්‍රමුඛ අනෙකුත් ආගම්වලට අපහාස කර ඇතැයි සැක කරන සියලු පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව පුළුල් විනිවිද පෙනෙන විමර්ශනයක් කර සත්‍ය හෙළිදරව් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් පියතුමෝ සඳහන් කළහ. කතෝලික සභාව කොළඹ දී කැඳවූ මාධ්‍ය හමුවක දී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ තවදුරටත් මෙසේ ද සඳහන් කළහ.



“ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම් ඇතිකර රටේ ආරක්ෂාවට තර්ජනයක් නිර්මාණය කර ඒ ඔස්සේ බලය දිනාගැනීමට උත්සාහ කරන ඇතැම් දේශපාලනඥයන් එවැනි අවස්ථා නිර්මාණය කිරීම සඳහා විවිධ පුද්ගලයන් සහ සමාජ මාධ්‍ය සැලසුම් සහගත ලෙස ප්‍රයෝජනයට ගැනීම අතීතයේ සිටම මේ රටේ සිද්ධ වෙලා තියෙනවා. අද ගොඩනැගෙමින් පවතින මෙම ආගමික බේද එවැනි කුමන්ත්‍රණයක් බව  පෙනෙන්න තියෙනවා.

බෞද්ධාගම ප්‍රමුඛ මේ රටේ අනෙකුත් ආගම්වලට අපහාස කර ඇතැයි සැකකරන පුද්ගලයන් පිළිබඳව මෙන්ම ඒ පිටුපස සිටින සියලු පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳවත් පුළුල් විනිවිධ පෙනෙන සාධාරණ සහ ස්වාධීන විමර්ශනයක් කර සත්‍ය හෙළිදරව් කිරීම පොලීසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බව අපි අවධාරණය කරනවා" යැයි ද පියතුමෝ සඳහන් කළහ.

නිමල කොඩිතුවක්කු