st-anthony-incident

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ සිසුවකුට එහි විභාග ශාලා පරිශ්‍රය ආසන්නයේ දී එහි සිසුන් පිරිසක් එක්ව විකට් පොලු හා උණ බටවලින් පෙරේදා (06) පහරදීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කටුගස්තොට යටියාවල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවෙකි. ඉකුත් 06 වැනිදා පැවති ගණිත ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති සිසුවා එහි පළමු ප්‍රශ්න පත්‍රයට උත්තර ලිවීමෙන් පසු ලැබුණු විවේක කාලයේ දී විසි දෙනකුගෙන් පමණ  සමන්විත කණ්ඩායමක් පැමිණ මෙම පහරදීම කර ඇති බවට මූලික පරීක්ෂණවල දී හෙළිවී ඇතැයි පොලිසිය කියයි.



පහරදීම සම්බන්ධයෙන් එම විද්‍යාලයෙන් හා පසුව එම සිසුවා ද තම මවුපියන්ට දුරකථනයෙන් කළ දැනුම් දීමකට අනුව මවුපියන් වහා එහි ගොස් ඇත. සිසුවා මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇත. පහරකෑමට ලක්වූ සිසුවා තම එකම පුතු බවත් විද්‍යාලයේ රගර් කණ්ඩායමේ සිටින දක්ෂ ක්‍රීඩකයකු බවත් එම සිසුවාගේ මව වන ප්‍රියන්වදා සේනානායක ප්‍රකාශ කළාය. මෙවර විභාගය සඳහා  තම පපුතු හොඳ සූදානමකින් යුතුව සිටි බව ද ඇය කීවාය.මේ අතර පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා වන ජගත් විජේසුන්දර මහතා දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසියට පැමිණිලි කළ බවත් කොළඹ විභාග දෙපාර්තමේන්තුවට ද සිද්ධිය දැන්වූ බවත් පැවසීය.



ඒ අනුව ඊයේ (07) පැවති පෙරදිග සංගීත විෂය සඳහා වූ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සඳහා මහනුවර ස්වර්ණමාලි  බාලිකා විදුහලේ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයේ දී පෙනී සිටීමට එම සිසුවාට ලැබුණු අවසරය මත ඔහු රෝහලින් ටිකට් කපා එම මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමට එම දෙමාපියෝ පියවර ගත්හ. තම එකම දරුවාට වූ මෙම අසාධාරණය සම්බන්ධයෙන් වහා පියවරක් ගන්නැයි එම  මවුපියෝ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

 ධම්මික ගුණවර්ධන