threewheel-theft

තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා කොට්ටාව ප්‍රදේශයෙන් කොල්ලකෑ ත්‍රිරෝද රථයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මහ මග අතහැර දමා මාර්ගයේ ධාවනය වූ වෙනත් වෑන් රථයක් කොල්ල කා පලා යාමෙන් අත හැර දමා ගිය ත්‍රිරෝද රථය කොල්ලකෑමෙන් පැය තුනක් ඇතුළත ඉංගිරිය ප්‍රදේශයේ තිබී සොයා ගැනීමට හැකි වූ බව කහතුඩුව පොලිසිය පවසයි. මෙසේ සොයා ගත් ත්‍රිරෝද රථය අතුරුගිරිය, තල්දියාවල ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බව පොලීසිය කියයි.



මෙම කුලී ත්‍රිරෝද රථ රියදුරු 24 දා අලුයම 4 පමණ කුලී ගමනක්  ගොස් හයිලෙවල් මාර්ගය ඔස්සේ යළි එමින් සිටියදී කොට්ටාව මහල්වරාව හන්දිය ආසන්නයේදී හිස් වැසුමක් පැලඳ රැඳී සිටි පුද්ගලයකු තම යතුරුපැදිය  අනතුරට ලක් වූ බව පවසමින් නිවසට යාමට යැයි පවසා ත්‍රිරෝද රථයට ගොඩ වී තිබේ. හෝමාගම නගරය හරහා ගොස් මාගම්මන ප්‍රදේශයේ අතුරු මාර්ගයක යමින් සිටියදී කඩු පොලු මුගුරු අතැතිව රැඳී සිටි සිව් දෙනකු ත්‍රිරෝද රථය නවතා රියැදුරුට පහර දී මරණීය තර්ජනය කොට පසෙකට ඇද දමා රියදුරු සන්තකේ තිබූ රුපියල් 45,000 වටිනා ජංගම දුරකතනය හා රුපියල් 2500 මුදලක් සමග ත්‍රිරෝද රථය කොල්ලකා පලාගොස් තිබුණි.

මෙම කොල්ලකෑමට ත්‍රිරෝද රථයේ පැමිණි පුද්ගලයා ද හවුල් වී පසුව ඔහු ද කොල්ලකරුවන් සමග ගොස් තිබුණි. රියැදුරු ක්ෂණිකව කහතුඩුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඒ බව අවට පොලිස් ස්ථානවලට ලබාදී තිබූ පොලිස් නිවේදනයකට අනුව උදෑසන හතට පමණ ඉංගිරිය ප්‍රදේශයේ මාර්ගයක ත්‍රිරෝද රථයක් අතහැර දමා ගොස් ඇති බවට තොරතුරක් ලැබී තිබුණි.

  ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ත්‍රිරෝද රථයේ රියැදුරු සමග එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම ත්‍රිරෝද රථය ඊට පැය තුනකට පමණ පෙර කොල්ලකා රැගෙන ගිය ත්‍රිරෝද රථය බවට අනාවරණය වී තිබුණි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඉංගිරිය ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ල කා පලා යාම නිසා අත්අඩංගුවට ගැනීමට මෙතෙක් නොහැකි වූ අතර ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න