“ගාල්ලේ ගෙදරකින් මල්ලිගෙ වේලාව බැලෙව්වා. වේලාව බලපු මාමා කිව්වා මල්ලිට හොදටම අපල තියෙනවා, ලංකාවේ තියා ගන්න එපා වෙනත් රටකට යවන්න කිව්වා. මේ ගමනට තාත්තා කැමැති වුණෙත් නෑ. දැන් රෑ වෙලා ගෙදර යන්න එපා හෙට යන්න කියලත් තාත්තා කීවා” යැයි වරකාපොළ තුල්හිරියේ සිදු වූ අනතුරින් මියගිය තිදෙනාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මියගිය එක්දරු පියාගේ සහෝදරයකු වන ප්‍රියන්ත පින්නවල මහතා පැවැසීය.
ත්‍රිරෝද රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වූ මෙම අනතුරින් අඹුසැමි යුවළක් හා ඔවුන්ගේ එකම පුතා මරණයට පත් වූ අතර වරකාපොළ තුල්හිරියේ දී මෙම අනතුර දී සිදුවිය. මියගියේ රඹුක්කන, කොටවැල්ල, බෙලිගහමුල්ලවත්තේ පදිංචිව සිටි 40 හැවිරිදි පින්නවල හේවයලෑ ධනුෂ්ක ගයාන් පින්නවල, ඔහුගේ බිරිඳ වන 39 හැවිරිදි දිනුෂා ගම්ලත්ගේ, ඔවුන් දෙදෙනාගේ එකම දරුවා වන රඹුක්කන කොටවැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ 8 පන්තියේ ඉගෙනුම ලබමින් සිටි 13 හැවිරිදි පින්නවල හේවයලෑ ගීත්ම සත්සර පින්නවල යන තිදෙනාය. වරකාපොළ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා ඉදිරියේ පැවැති මරණ පරීක්ෂණයේදී වරකාපොළ පොලිසිය රථවාහන අංශයේ පොලිස් සැරයන් වික්‍රමරත්න (34590), සමන් (49871) මහත්වරු සාක්කි මෙහෙයවූහ.
මියගොස් ඇති තිදෙනා පසුගිය 9 වැනිදා ඔවුනට අයත් ත්‍රීරෝද රථයෙන් ගාල්ලේ, අඟුළුගහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට ගොස් ආපසු පෙරේදා (11 වැනිදා) යළි රඹුක්කන, කොටවැල්ල නිවස කරා ත්‍රීරෝද රථයෙන් ගමන් කරමින් සිටිය දී ඊයේ (12) අලුයම 5.40 ට පමණ වරකාපොළ, තුල්හිරියේ දී ඉදිරියෙන් ආ වැලි ප්‍රවාහනය කරමින් තිබුණු ලොරි රථයක ගැටී තිදෙනා බරපතළ තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියහ. ඒ වන විටත් තිදෙනා මියගොස් සිටි බව පොලිසිය පැවසීය. මිය ගොස් ඇති එක් දරු පියා වසර 20 ක පමණ කාලයක සිට කටාර් රාජ්‍යයේ ආයතනයක රැකියාවක් කරමින් සිට තිබේ.මරණ පරීක්ෂණයේ සාක්කි විභාගයේදී මියගිය එක්දරු පියාගේ වැඩිමහල් සහෝදරයා වන පින්නවල හේවයලෑ ප්‍රියන්ත පින්නවල මහතා මෙසේ ද පැවසීය.
“මල්ලිගේ කකුලේ පොඩි කැසිල්ලක් තිබුණා. පස්සේ ගාල්ලේ ගෙදරකින් ඉක්මනට වේලාව බැලෙව්වා. ඊට පස්සේ වේලාව බලපු කෙනා කිව්වා මෙයාට හොඳටම අපල තියෙනවා, ලංකාවේ තියා ගන්න එපා ඒ හින්දා ඉක්මනටම විදේශගත කරන්න කියලා කිව්වා. ගාල්ලේ පැවැති උත්සවයකට ආ මල්ලියි එයාගේ බිරියයි පුතයි රඹුක්කන ගෙදර එන්න සූදානම් වූ අවස්ථාවේ දී මගේ තාත්තා කිව්වා දැන් රෑ වෙලා ගෙදර යන්න එපා හෙට යන්න කියලා. තාත්තාගේ කීම මල්ලි අහන්නෙ නැතිව 15 වැනිදා රට යන්න තියෙනවා කියලා තමයි ඔය ආවේ".
මියගිය එක් දරු පියාගේ මව වන සුමිත්‍රා සිරිවර්ධන මෙසේද පැවසුවාය.
“ලොකු පුතාගේ බිරියගේ වැඩිමහල් සහෝදරිය ගාල්ලේ, අඟුළුගහ පදිංචිව සිටිනවා. ඒ දුවගේ දියණියක් වැඩිවියට පත් වෙලා තිබුණු උත්සවයට ගිහිල්ලා ආපසු අපේ ඥාති පිරිසක් ගාල්ලේ බූස්සේ ඉන්නවා. ඒ ගෙදරටත් ගිහිල්ලා පෙරේදා 11 වැනිදා හවස යළි රඹුක්කන කොටවැල්ල බලා ත්‍රීරෝද රථයෙන් පැමිණෙමින් ඉඳලා තියෙනවා.අපේ ඥාති දුවක් ඊයේ (12) උදේ අටට පමණ කතා කරලා කිව්වා අම්මේ දිනුෂ්ක රිය අනතුරකට ලක්වෙලා වරකාපොළ රෝහලට අරන් ගිහිල්ලා කියලා. පස්සේ මම ගමේ ඥාතීන් සමග වරකාපොළ රෝහලට ආවා. මට මේ මරණ සැකයක් නෑ. රිය අනතුරෙන් තිදෙනා මිය යන්නට ඇතැයි විශ්වාස කර සිටිනවා" යැයි පැවසුවාය.
වරකාපොළ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය බී.ඒ.ඩී.සී. බාලසූරිය මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කෙරිණ. තිදෙනාගේම රිය අනතුරකින් උදරයට පපුවට හිසට සිදුව තිබුණු බරපතළ තුවාල හේතුවෙන් බව වරකාපොළ හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා තීන්දු කළේය.
චමින්ද වැවතැන්න
0 Comments