titan-expences

උතුරු අත්ලාන්තික් සාගර පතුලේ දී විනාශ වී ගිය බවට තහවුරු වී ඇති OceanGate සමාගමට අයත් Titan සබ්මැරීනය සෙවීම සඳහා දින පහක්පුරා (ජූනි 18දා සිට ජූනි 23දා දක්වා) සිදුකළ මෙහෙයුම් සදහා මේ දක්වා එක්සත් ජනපද ඩොලර් මිලියන ගණනක මුදලක් වැය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එක්සත් ජනපද වෙරළ ආරක්ෂක බලකාය සහ කැනේඩියානු නාවික හමුදාව ඇතුළුව ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය යන රාජ්‍යයන්හි නොකා, ගුවන් යානා, සෝනාර් තාක්ෂණික උපකරණ සහ සාගරයේ කිමිදිය හැකි රොබෝ යන්ත්‍ර ඇතුළු නවීන තාක්ෂණික උපාංග රැසක් මෙම සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් සදහා දායක කර ගැනුණි. එහිදී එක්සත් ජනපද වෙරළ ආරක්ෂක බලකායේ ඉල්ලීම අනුව මෙම කණ්ඩායම් එම සෝදිසියට සම්බන්ධ විය.



ඒ අනුව, මේ පිළිබඳ අදහස් දක්වන  එක්සත් ජනපදයේ හිටපු වෙරළ ආරක්ෂක නිලධාරියෙකු, දැනටමත් මෙම මෙහෙයුම් සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් මිලියන ගණනක්වැය වී ඇතැයි ඇස්තමේන්තු කළ හැකි බව පවසා සිටියි. එසේම එම සබ්මැරීනය සහ මෙම අනතුරින් මියගිය ලොව ධනවතුන්ගේ සිරුරු යළිත් සාගර මතුපිටට රැගෙන ඒම සදහා ඉදිරියේදී කිරීමට නියමිත මෙහෙයුම් සඳහාද තවත් ඩොලර් මිලියන ගණනක් වැයවනු ඇතැයි අපේක්ෂාව වී තිබේ.කෙසේ වෙතත්, මෙහිදී එක්සත් ජනපද වෙරළා ආරක්ෂක බලකාය මෙතෙක් දැරූ වියදම් වෙනුවෙන් අදාළ සබ්මැරීනය හිමි OceanGate සමාගම හෝ එම සබ්මැරීනයේ ගොස් මියගිය ධනවතුන් හෝ ගෙවීම් සිදුකළ යුතු බවට අනිවාර්යය නොවන බවත් එම හිටපු නිලධාරියා සදහන් කරයි.

වාර්තා සදහන් කරන ආකාරයට එක්සත් ජනපද සහ කැනේඩියානු බලධාරීන් මෙම සබ්මැරිනය සෙවීම සදහා සබ්මැරීනයක්, ගුවන් යානා කිහිපයක්, සෝනාර් පද්ධති කිහිපයක් යොදාගෙන තිබේ. එසේම එක්සත් ජනපද නාවික හමුදාවේ FADOSS නමින් හඳුන්වන විශේෂිත කිමිදුම් පද්ධතියක් මෙන්ම, ප්‍රංශයට අයත් Victor 6000 නම් ගැඹුරු සාගර කිමිදුම් රොබෝවක්ද මීට යොදා ගැනුණි. ඒ අනුව, මේ සම්බන්දයෙන් නිව්යෝක්  ටයිම්ස් පුවත්පතට අදහස් දක්වන එක්සත් ජනපදයේ සෝදිසි සහ ගලවා ගැනීම් පිළිබඳ ජාතික සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ක්‍රින්බොයර්, මෙම මෙහෙයුම සදහා අනිවාර්යයෙන්ම ඩොලර් මිලියන ගණනක් වැය වී ඇතැයි පවසා සිටියි. එසේම, මීට පෙර වෙරළ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කර ඇති විශ්‍රාමික අද්මිරාල් පෝල් සුක්නෆ්ට් නමැත්තෙකු වොෂිංටන් පෝස්ට් පුවත්පතට අදහස් දක්වමින්, මෙම කිමිදුම් සංචාරක මෙහෙයුම් සිදුකළ සබ්මැරීනය අයත් සමාගම මෙම වැය වූ මුදල් ආපසු එක්සත් ජනපද රජයට ප්‍රතිපූර්ණය කිරීමක් බලාපොරොත්තු විය නොහැකි බව පවසා සිටියි.



"මෙය යම් පුද්ගලයෙකු සාගරයේදී බෝට්ටුවක් ගිලිලා, අපි ගිහින් බේරා ගන්නවා හා සමානයි. අපි කොයි වෙලාවකදීවත් ගලවා ගැනීම ගැන බිලක් එම පුද්ගලයාට දෙන්නේ නෑ.” ඔහු සඳහන් කරයි.  කෙසේවෙතත්, OcenGate සමාගම මෙම සංචාරයක් සඳහා එක් පුද්ගලයෙකුගෙන් අය කළ ගාස්තුව එක්සත් ජනපද ඩොලර් 250,000ක් එනම් රුපියල් හත්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලකි. Titan සබ්මැරිනයේ මෙම අවසන් ගමනට එක්වුණු පුද්ගලයන් අතර බ්‍රිතාන්‍ය ධනවතෙකු වූ හමින්හාර්ඩින්ග්, පාකිස්තාන -බ්‍රිතාන්‍ය ධනවතෙකු වූ ෂත්සාදා දාවුහ ඔහුගේ පුත්‍රයා වූ සුල‍ෙමාන් දාවුද් මෙන්ම OcenGate සමාගමේ නිර්මාතෘවරයා වන ස්ටොක්ටන් රෂ් සහ සබ්මැරීනයේ නියමුවා වූ ප්‍රංශ ජාතික පෝල් හෙන්රි යන අය සිටියහ.

ඒ අනුව, ආසන්න වශයෙන් මෙම  ගමන සදහා එම සමාගම රැස් කරගෙන ඇති මුදල ඩොලර් 750,000ක් පමණ විය හැකි බව ගණන් බලා තිබේ. මීට පෙර OceanGate සමාගම මෙවැනි සබ්මැරිත යොදා ගනිමින්  ගැඹුරු සාගර පතුලේ කිමිදීමේ අවස්ථාවන් සලසා දී ඇති අතර, Titan සබ්මැරිනය  සේවයට එක් කර ඇත්තේ 2021 වසරේදීය. එතැන් සිට වාර්ෂිකව මෙම සබ්මැරීනය ටයිටැනික් නෞකාවේ  සුන්බුන් නැරඹීම සදහා දින ගණනක් පුරා සිදුකරන සාගර කිමිදුම් චාරිකා   සංවිධානය කරයි.මෙම අවසන් චාරිකාව එම සබ්මැරීනයේ තෙවැනි චාරිකාවද වෙයි.



මීට පෙර වෙනත් සබ්මැරීන යොදා ගනිමින් OceanGate සංවිධානය කළ මෙවැනි චාරිකා හතරකට සම්බන්ධව ඇති පුද්ගලයෙකු වන මයික් රෙයිස් අදහස් දක්වමින්, Titan සබ්මැරිනය අවස්ථා කිහිපයකදීම සිය මෙහෙයුම් අත්හැර දැමීමක් සිදුකළ බවත් සදහන් කරයි. එහිදී අයහපත් කාලගුණික  තත්ත්වයන් මෙන්ම, සබ්මැරීනය සෑමවිටම එහි මව් නොකාවත් සමග පැවැති සබදතා බිඳ වැටීමේ දෝෂ යනාදිය ඊට හේතුව වී තිබේ. මේ අතර, එම සබ්මැරීනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් එම සමාගමේ හිටපු විධායක නිලධාරිවරයාද 2018 දී එහි නිර්මාණකරුවන්ට එරෙහිව හඬ නගා ඇති අතර, පසුව ඔහු එම ධුරයෙන් ඉවත් කළ බවටද වාර්තා පළ වෙයි. එසේම, මෙවැනි සංචාරයක් යාමට පෙරාතුව ඊට සම්බන්ධ වන පුද්ගලයන්ට යම් රක්ෂණාවරණයක් ලබාදීමක් OceanGate සමාගම සිදුකළේද යන්න සම්බන්ධයෙන්ද පැහැදිලි නැතැයි වාර්තා පවසයි. කෙසේ වෙතත්, මෙවැනි ගමනක අවදානම පිළිබඳව සියලුම මගීන් දැනුවත් කරන්නට ඇතැයි යන්න සැමගේම  විශ්වාසය වී තිබේ.

"මෙය නිවාඩු ගමනක් නෙමෙයි. මෙය සංචාරක අත්දැකීමක් නෙමෙයි. මෙය ගවේෂණයක්. ඒ නිසා ඊට ගැළපෙන හොදම යාත්‍රාවකට ඔබ ගොඩවිය යුතුයි. ඔවුන් වුණත් දුර යන්න යන්න තමයි දේවල් ඉගෙන ගන්නේ, ඒ නිසා මේ ගමන යන පස් දෙනාම එවැනි ගමනක ඇති අවදානම හොදින්ම දැන සිටියා.” යනුවෙන් මයික් රෙයිස් පවසයි.  මේ අතර අභ්‍යන්තර පිපිරිමකට ලක්ව මේ වනවිට උතුරු අත්ලාන්තික් සාගර පතුලේ තැන්පත්ව ඇති Titan සබ්මැරීනය නැවත ගොඩබිමට රැගෙන ඒම සදහා වන මෙහෙයුම් මේ වනවිට ආරම්භ කෙරී තිබේ. ඒ සඳහා Odysseus6K නම් සබ්මැරීනයක් යොදා ගැනීම සැලසුම වී තිබේ.