tution-fees-issue

අ.පො.ස. උසස් පෙළ උපකාරක පන්තිවල සිසුන්ගෙන් අධික ගාස්තු අය කිරීම වැළැක්වීමට නව නීති ගෙන ඒමට රජය තීරණය කර ඇත. රජය මෙම තීරණය ගෙන ඇත්තේ ඇතැම් ගුරුවරුන් උසස් පෙළ විද්‍යා, ගණිත වැනි විෂයන් සඳහා සිසුවකුගෙන් රුපියල් 3500 සහ 4000 වැනි අධික මුදලක්

මාසික ගාස්තු වශයෙන් අය කරන බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුවය. මේ අතර අ.පො.ස. උසස් පෙළ උපකාර පන්ති ක්ෂේත්‍රය නියාමනයකට ලක් කිරීමට නව පනතක් ළඟදීම ගෙන එන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

පෞද්ගලික උපකාරක පන්තිවල පවතින අඩු පහසුකම් හා විවිධ ගැටලු සහගත කරුණු ආදිය ද සැලකිල්ලට ගෙන එම ක්ෂේත්‍රය මෙලෙස නියාමනය කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. උපකාරක පන්ති ගුරුවරුන් විශාල පිරිසක් රජයට බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ද මුදල් අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. මේ අතර, මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ ශිෂ්‍යයන් එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට විශ්ව විද්‍යාල සඳහා ඇතුළු කර ගැනීමට කටයුතු කරන බව ද රාඝවන් මහතා සඳහන් කළේය.
සුජිත් හේවාජුලිගේ