un-ranil

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසර ණය ප්‍රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික විය.




ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා අතර හමුවක් ඊයේ (22) පැරිස් නුවරදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ දී ලබා ඇති වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය.
තිරසර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ දී සහ රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ශක්තිමත් මූල්‍ය රාමුවක් සම්පාදනය කිරීමට රජයේ කැපවීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී කරුණු අවධාරණය කළේය.


තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතරම දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් අවම කිරීම අරමුණු කරගත් විස්තීරණ උපාය මාර්ග ගෙනහැර දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” පිළිබඳව ද මහලේකම්වරයා දැනුවත් කළේය.
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ දේශගුණික විපර්යාවලට මුහුණදීම වැනි කටයුතුවලදී ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සහයෝගීතාවයේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.