urubokka-incident

ඌරුබොක්ක, හීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට පෙරේදා (11) දහවල් පුද්ගලයන් හතර දෙනකු මුඛ ආවරණ පැලද ඇතුළු වී ගිනි අවියක් පෙන්වා නිවැසියන් කාමරයකට දමා සිරකර තබා එක්කෝටි එක් ලක්‍ෂ අනුතුන්දහසක (10193000.00) මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා මෝටර් රථයකින් පලා ගොස් ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි. ව්‍යාපාරිකයා සහ දරුවන් ඌරුබොක්ක ප්‍රදේශයේ සිය වෙළෙඳ ව්‍යාපාරයේ සිටින අතරතුර පිරිස නිවසට ඇතුළු වී ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ව්‍යාපාරිකයාගේ බිරිය, රෝගී පුතා, ලේලිය, දරුවන් පමණක් බවත් නිවසේ සිටින රෝගියා බැලීමට කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි ඥාතියකු හා ඔහුගේ බිරිය දරුවන් දෙදෙනාද සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම කාමරයකට දමා සිරකර තබා ඇති අතර කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි යුවළගේ හා  දරුවන් දෙදෙනාගේ මුදල්, රන්භාණ්ඩ, ජංගම දුරකථනද සොරුන් පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.



පුද්ගලයන් හතර දෙනකු නිවසට ඇතුළු වී ඇති අතර ඔවුන් නිවසේ සිටින බව නොදැන අසල්වැසියකු හා කාන්තාවන් දෙදෙනකු නිවසට පැමිණි අවස්ථාවේ එයින් පිරිමි පුද්ගලයා සොරුන් විසින් ගිනි අවි පෙන්වා බයකර රඳවාගෙන ඇති අතර කාන්තාවන් දෙදෙනා දුව ගොස් කෑ ගැසීම හේතුවෙන් සොරුන් නිවසින් පිටතට පැමිණ මෝටර් රථයකින් හුලංකන්ද දෙසට පලා ගොස් ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ව්‍යාපාරිකයාගේ දරුවකුට ශල්‍යකර්මයක් කිරීමට නියමිත බැවින් ඒ සඳහා අවශ්‍ය මුදල් බැංකුවෙන් රැගෙන විත් නිවසේ තබාගෙන සිටියදී මෙම මංකොල්ලය සිදුව ඇති බවට පොලීසිය පවසයි. කොල්ලකෑම සිදු වූ නිවසට පෙරේදා (11) දින සවස මාතර අපරාධ ස්ථානීය පරීක්ෂණ (සොකෝ) නිලධාරීන් පැමිණ පරීක්ෂණ සිදු කළ අතර ඔස්කා නමැති පොලිස් නිල සුනඛයා ගෙන්වා පරීක්ෂණ සිදු කළේය. පලාගිය සැකකරුවන් හා මෝටර් රථය සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
ඩී.ඒ. පතිරණ