vijayakala-maheshwaran-accident
හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය අද උදෑසන මුන්දලම ප්‍රදේශයේ දී  දරුණු රිය අනතුරකට  ලක්ව ඇති අතර මේ වනවිට හලාවත රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

මහේෂ්වරන් මහත්මිය අද (29) උදෑසන පුත්තලම – කොළඹ මාර්ගයේ මුන්දලම, මංගළඑළිය ප්‍රදේශයේදී වෑන් රථයක ගමන් කරමින් සිටියදී එය මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී රිය අනතුරකට මුහුණදී තිබේ.
 වෑන් රථය යාපනය ප්‍රදේශයේ සිට කටුනායක බලා ධාවනය වෙමින් තිබී ඇති අතර රියදුරාට නින්දයෑමත් සමග වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද උදෑසන 5.50 ට පමණ අනතුර සිදුව තිබේ.
එහි පැමිණි සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර
අනතුරින් තුවාල ලබා ඇති හිටපු රාජ්‍ය ඇමතිවරිය ප්‍රතිකාර සදහා මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට මාරු කර යවා ඇත.
වෑන් රථයේ රියදුරා සහ එහි ගමන් කරමින් සිටි තවත් අයෙක් ද සුළු තුවාල මත ප්‍රතිකාර ලබා ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයෙකි. යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එජාපයෙන් පත්වූ ඇය හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධූරය හා හිටපු ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයන්ද දරා ඇත.
2020 මහ මැතිවරණයේදී ඇයට පාර්ලිමේන්තුවේ අසුන අහිමි විය.