wariyapola-student-death

වාරියපොළ ගනේවත්ත මාර්ගයේදී ගොඩනැගිල්ලක විදුලි රැහැනක සවිකර තිබූ යකඩයක් ගැලවී හිසේ වැදීමෙන් බරපතළ තුවාල සහිතව රෝහල් ගත කර සිටි දැරිය පෙරේදා (17) මියගිය බව කුරුණෑගල ශික්ෂණ රෝහල් ආරංචි මාර්ග කියයි. මෙසේ මියගියේ වාරියපොළ ශ්‍රී සුමංගල ජාතික පාසලේ 8ඩී ශ්‍රේණියේ ඉගෙනුම ලබන සහේලි සදුපමා නමැති ගෝනගම අළුපොතගම ප්‍රදේශයේ පදිංචි දැරියක බව පොලිසිය කියයි. කුරුණෑගල පොලිස් වසමේ ගෝනගම ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට විදුලි සැපයුම ලබාදීමට ඇද තිබූ විදුලි රැහැනක් පාරේ ගමන් කළ ලොරියක පැටලීමෙන් විදුලි රැහැන ගොඩනැගිල්ලට සවිකර තිබූ යකඩය ගැලවී සිය මව සමඟ යතුරුපැදියෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි දැරියගේ හිසේ වැදී ඇය බරපතළ තුවාල ලැබූ බව පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළි වී ඇත.



සිද්ධිය වූ අවස්ථාවේදීම ප්‍රදේශවාසීන් එක්ව වහාම දැරිය වාරියපොළ දිසා රෝහලට ඇතුළත් කළ අතර එහිදී මූලික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවනු ලැබ සිටියාය. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක් දිනක් රඳවා සිටි දැරිය හිසට සිදු වූ බරපතළ හානි හේතුවෙන් මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධව කුරුණෑගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර විදුලි රැහැනේ පැටළුණු ලොරියද අනුමත උස ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ  පටවා තිබූ බව ප්‍රදේශවාසීහු කියති.



මෙම මාර්ගය අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ගයක් හේතුවෙන් පෙර තත්ත්වයට වඩා මාර්ගය අඩි කීපයක් උසින් වැඩි වී ඇති බැවින් මාර්ගය හරහා ඇද ඇති විදුලි සැපයුම් රැහැන් නැවත ඉහළින් සවිකිරීමට සිදුව තිබූ බවද එම ප්‍රදේශයේ පදිංචි පිරිස් කියති. පවුලේ එකම දරුවා වන මියගිය දැරියගේ දේහය පෙරේදා (17 වැනිදා) සවස නිවස වෙත ගෙන ආ අතර අවසන් කටයුතු ඊයේ (18) අළුපොතගම පොදු සුසාන භූමියේදී සිදුකෙරිණ.
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)