welikada-prison-issue

මිනී මැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනය නියමවූ වැලිකඩ බන්ධනාගාරයේ සිටි සිරකරුවකු බන්ධනාගාර නිලධාරීන්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ඊයේ (25) පෙරවරුවේ ඛන්ධනාගාරයෙන් පැනගොස් මරදානේ දුම්රිය ස්ථානයේ දුම්රියක නැඟ සිටියදී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිරකරුවා ඊයේ (25) පෙ.ව. 09.30 ට ආගමික වැඩසටහනක් සඳහා ඔහු රඳවා සිටි සිරමැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේ. එම ස්ථානයෙන් සූක්ෂම ලෙස මිදී ඔහු විසින්ම සඟවාගෙන සිටින ලද බන්ධනාගාර නිලධාරියෙකුගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී නිලධාරීන්ට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් පැනගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවැසීය.

මෙම සිරකරුගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ බන්ධනාගාර නිලධාරීන් සිරකරු ලුහුබැඳ මරදාන දුම්රිය වෙත ගොස් ඇති අතර, සැකකරු එහි නවතා තිබූ දුම්රියක නැගී සිටියදී අත්අඩගුවට ගත් බවද ඔහු කීවේය. මෙම තැනැත්තා මිනීමැරීමේ චෝදනාව යටතේ ගම්පහ මහාධිකරණයෙන් 2015 වසරේ මරණීය  දණ්ඩනයට නියමව සිටි සිරකරුවකු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඔහු පන්නල, වැවේ කොටුව, ඉහල කොටුවැල්ල ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැවිරිදි පුද්ගලයකු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම සිරකරු වැලිකඩ බන්ධනාගාරයේ සිට අධිආරක්ෂිත බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට පියවර ගන්නා බවද හෙතෙම කීවේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයා යටතේ විමර්ශනයක් කරන අතර, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය මගින්ද මූලික විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඉන්දිකා රාමනායක