welimada-incident

බාලවයස්කාර දියණියගේ හිතුවක්කාරි හා නොහොබිනා ක‍්‍රියාවන් නිසා සිත් තැවුලට පත් මවුපිය යුවළක් වැලිමඩ පොලිස් ස්ථානයේදී වස පානය කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් අබේවික‍්‍රම පැවැසීය.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.

මොවුන්ගේ වයස අවුරුදු 12 යි මාස 08 ක දියණියගේ හිතුවක්කාරි ක්‍රියා හේතුවෙන් දෙමාපියන්ගේ ඉල්ලීම මත වැලිමඩ පොලිසිය මැදිහත්ව අධිකරණය හරහා පරිවාස භාරයට පත්කර සිටියදී නැවත නිවසට කැඳවාගෙන විත් තිබිණි.



එලෙස නිවසට කැඳවා ගෙන පැමිණි දියණිය වැලිමඩ නගරයේදී 28 හැවිරිදි තරුණයකු හඳුනා ගෙන ඔහුගෙන් රැකියාවක් සොයාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් තරුණයා රාත‍්‍රි කාලයේ හපුතලේ මාර්ගයේ යම් ස්ථානයකට කැඳවාගෙන ගොස් ඇයව දූෂණය කර තිබේ.

මේ අතරතුර ඇය කඩුවෙල ප‍්‍රදේශයේ පදංචි තරුණයකුද හඳුනාගෙන ඇති අතර ඇය ඔහු සොයා කඩුවෙලට ගොස් එම තරුණයා සමගද දින 05ක පමණ කාලයක් අඹු සැමියන් ලෙසින් හැසිරී තිබේ.

ඉන්පසු එම තරුණයා මෙම බාලවයස්කාරිය පසුගිය 11 වැනිදා යළි වැලිමඩට එවා තිබේ.

එලෙස වැලිමඩ නගරයට පැමිණ අතරමංව සිටි මෙම දැරිය පිළිබඳ නගරයේ සිටි පුද්ගලයකු විසින් වැලිමඩ පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරින් පිරිසක් ඇය පොලිසියට රැගෙන ගොස් පසු දින දෙමාපියන් කැඳවා වෛද්‍ය පරික්ෂණය සඳහා බදුල්ල මහ රෝහල වෙත යොමුකර තිබිණි.



එම පරීක්ෂණ වාර්තාවලට අනුව මෙම බාලවයස්කාර දැරිය දූෂණයට ලක්ව තිබූ බැවින් ඒ පිළිබඳ විමසීමට මෙම දැරිය සමග ඇගේ දෙමාපියන්ද වැලිමඩ පොලිසියට කැඳවා තොරතුරු විමසීමේදී දෙමාපියන් මෙසේ වස පානය කර තිබේ.

එමෙන්ම ඇය දූෂණය කළ බව කියන වැලිමඩ හපුතලේ මාර්ගයේ පදිංචි 28 හැවිරිදි තරුණයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

(එම්.එස්. කුමාරගේ-ඌව පරණගම )