werahera-rmv

බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රියැදුරු පාසලක රහසිගතව පවත්වාගෙන ගිය, රියැදුරු බලපත්‍ර ව්‍යාප් ලෙස සකස් කර දෙන මධ්‍යස්ථානයක් වටලා එහි හිමිකරු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් සමඟ ජාතික හැඳුනුම්පත් දෙකක්, විදේශ ගමන් බල පත්‍රයක්, තාවකාලික රියැදුරු බලපත්‍රයක් රියැදුරු බලපත්‍ර (කාඩ්) හතරක්, තාවකාලික රියැදුරු බලපත්‍ර ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමට සුදානම් කර තිබූ දත්ත ඇතුළත් පරිගණක යන්ත්‍රයක් සහ හෙරොයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 250ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

රියැදුරු බලපත්‍ර කාඩ්පත් විදේශගත වන පුද්ගලයන්ට පමණක් මේ දිනවල නිකුත් කරන අතර එම ක්‍රියාදාමයට මුවාවී වේරහැර ප්‍රදේශයේ රියැදුරු පාසලක ඉතා අධික මිලකට රියැදුරු බලපත්‍ර සහ තාවකාලික බලපත්‍ර අලෙවි කරන බවට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම කර ඇත.  රියැදුරු බලපත්‍ර කාඩ් පත සකස් කරදීමට දුර බැහැරින් එන පුද්ගලයන්ගෙන් රුපියල් 25,000 ක මුදලක්ද තාවකාලික රියදුරු බලපත්‍රයක් සකස් කරදීම  සඳහා රුපියල් 15,000 ක මුදලක්ද අය කර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.



මෙම ජාවාරම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර සහායක් ලැබී ඇත්ද යන්න හෙලිකර ගැනීමට දීර්ඝ ලෙස විමර්ශනය කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 38 ත් 58 ත් අතර වයසේ පසුවන්නන් වන අතර ඔවුහු බොරලැස්ගමුව හා දුන්ගල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) ඉදිරිපත් කිරීමට නියමිතය.
 බිමල් ශ්‍යාමන් ජයසිංහ