world-cup-cricket-2023

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නිල තරග කාලසටහන අයි.සී.සී.ය විසින් ඊයේ (27දා) එළි දක්වනු ලැබීය. ඒ අනුව එළඹෙන ඔක්තෝබර් 05 වැනිදා එංගලන්ත - නවසීලන්ත තරගයෙන් මෙවර තරගාවලිය ආරම්භ වීමට නියමිතය. මේ වනවිට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩාකරන ශ්‍රී ලංකාව, මේ සඳහා සුදුසුකම් ලැබුවහොත් ඔවුන් දකුණු අප්‍රිකාවට එරෙහිව සිය පළමු තරගය ක්‍රීඩාකිරීමට සිදුවෙයි. නොවැම්බර් මස 19වැනිදා දක්වා පැවැත්වෙන මෙවර තරගාවලියේ තරග අහ්මදාබාද්, බැංගලෝර්, චෙන්නායි, දිල්ලි, ධර්මශාලා,  හයිද්‍රාබාද්, කොල්කටා, ලක්නව්, මුම්බායි හා පූනේ යන ක්‍රීඩාංගණ 10කදී පැවැත්වෙන අතර, සමස්ත ලීග් වටය තරග 45කින් සමන්විතය.



මේ අතර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගත් ඉන්දියා - පාකිස්තාන තරගය අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව නිවේදනය කර ඇත. ලොව විශාලම ප්‍රේක්ෂක ධාරිතාව සහිත ක්‍රීඩාංගණය වන මෙම ක්‍රීඩාංගණයේ  ප්‍රේක්‍ෂයක් 130,000කට එකවර අසුන්ගත හැකිය. අවසන් මහා තරගයද මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මීට අමතරව අවසන් පූර්ව තරග නොවැම්බර් 15 හා 16 දෙදින මුම්බායි හා කොල්කටා හිදී පැවැත්වේ. කෙසේ වෙතත් ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගතහොත් ඔවුන්ගේ ප්‍රතිවාදියා පාකිස්තානය නොවන්නේ නම් එම තරගය මුම්බායිහිදී පැවැත්වේ.

යම් හෙයකින් පාකිස්තානය වුවහොත් එය කොල්කටාහීදි පැවැත්වෙන බවත් අයි.සී.සී.ය නිවේදනය කර ඇත. මේ අතර තරගාවලියේ පුහුණු තරග ගුවහාටි, තිරුවානාපුරම් හා හයිද්‍රාබාද්හිදී පැවැත්වීමට සූදානම් කර ඇත. තරගාවලියට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය යන කණ්ඩායම් 08 හා මේ වනවිට සිම්බාබ්වේ පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියෙන් සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 02 ක්‍රීඩා කිරීමට නියමිතය.