25-crore-projects

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය සහ සංවර්ධන අරමුදලට මෙම වසරේදී රුපියල් කෝටි 25ක පමණ ව්‍යාපෘති නවයක් ලැබී ඇතත්, අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී ඒ පිළිබඳව මෙතෙක් සලකා බලා හෝ නැති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. මේ අනුව, ණය භාවිත කරන ව්‍යාපෘති සහ ඵලදායිතාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, විධිමත් මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස කමිටුව එම අරමුදලට නිර්දේශ කළේය. බහු බෝග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දඹුල්ල ප්‍රාදේශීය සභාවට 1995 වසරේදී දී තිබූ රුපියල් එක් කෝටි විසි ලක්ෂයක මුදලක්  සහ මහනුවර නගර සභාවට දී තිබූ රුපියල් හය කෝටියකට අධික ණය මුදලක් අය කර නොගැනීම පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය.



මේ සම්බන්ධයෙන් නෛතික පියවර කඩිනමින් ගන්නා ලෙස කමිටුව උපදෙස් දුන්නේය. අරමුදලට ස්ථිර අධ්‍යක්ෂ ජනරාල්වරයකු මෙන්ම අභ්‍යන්තර විගණන නිලධාරියකු නොමැති බවට ද එහිදී තොරතුරු අනාවරණය විය. මේ අතර, අරමුදල 2021 වසරේදී නිකුත් කර ඇති රුපියල්  කෝටි 84ක ණය මුදල්වලින් රුපියල් කෝටි 69ක් වයඹ පළාතට දී ඇති බව කෝප් කමිටුවේ සභාපති, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවැසීය. ණය පළාත්වලට බෙදී යාමේ ක්‍රම වේදය විධිමත් කරන ලෙස කමිටුව එහිදී අරමුදලට නිර්දේශ කළේය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ණය සහ සංවර්ධන මණ්ඩලයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගිය 20 වැනිදා කැඳවනු ලැබූහ.ම

ෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය. මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ කෝප් කමිටු රැස්වීමට, රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, නිමල් ලාන්සා, එස්.එම්. මරික්කාර්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මධුර විතානගේ සහ මහාචාර්ය චරිත හේරත් යන මහත්වරු ද සහභාගි වූහ.
අංජුල මහික වීරරත්න