A-transfer-to-the-police-chief-who-was-made-to-fix-the-mistakes-of-the-police

ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ට එරෙහිව එල්ල වී ‍ ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් විමර්ශන කළ පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්.වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. තනතුරින් ඉවත් කරන ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වික්‍රමසිංහ මහතා පොලිස් මූලස්ථානයේ   පර්යේෂණ සංවර්ධන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පැවැසීය. පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය පිහිටුවා ඇත්තේ පොලිස් නිලධාරින්ට එල්ල වෙන චෝදනා සහ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහාය.



තන්තිරිමලේ පොලිසියේ රාජකාරි කළ කොස්තාපල්වරයෙකු වන ජේ.ඩී. සඳුන් (83840) මහතා කංසා ළඟ තබා ගත් බවට ඔහුට එරෙහිව අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් බොරු චෝදනා යටතේ නඩු පවරා ඇති බවට තොරතුරු තහවුරු කරගෙන එම කොස්තාපල්වරයාට සාධාරණය ඉටු කර දීම සිදු කරනු ලැබුවේ ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වික්‍රමසිංහ මහතා විසිනි.

මේ බව හෙළි කරගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පොලිස්පතිවරයා වෙනුවෙන් මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 24 වැනිදා එම පොලිස් කොස්තාපල්වරයාගෙන් සමාව ඇයද සිටියේ ය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටි රීති අනුව මෙම ස්ථාන මාරුවීම ලබාදී ඇති බව මේ සම්බන්ධව පෙරේදා (26) නිකුත් කළ විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇතැයි පොලිස් මූලස්ථානයේ එම නිලධාරියා කීය. පොලිස්පතිවරයා විසිනි. ඔහුට මෙම ස්ථාන මාරුවීම දෙනු ලැබ ඇත්තේ පොලිස්පතිවරයා විසිනි.



පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂකවරයා ලෙස පත්කර ඇත්තේ සංවර්ධන හා පර්යේෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඊ.එම්.ජී.ජේ. සේරම් මහතාය. මීට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දස දෙනකුට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස්පතිවරයා නිකුත් කර ඇති එම විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය