ai-presenters

වර්තමානයේදී ලොව වඩාත් ජනප්‍රියතම මාතෘකාවක් වන්නේ කෘත්‍රිම බුද්ධි (Al - Artificial Intelligence) තාක්ෂණයයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කළ අක්ෂර පාදක අදහස් හුවමාරු වැඩසටහනන වන chatGPT යනාදී වැඩසටහන්වලට අමතරව ඡායාරූප නිර්මාණ, ඡායාරූප සංස්කරණ, වෙබ් අඩවි නිර්මාණ කේත ලිවීම ඇතුළු එකිනෙකට වෙනස් කෘත්‍රිම බුද්ධි වැඩසටහන් රැසක් අද එළිදක්වා තිබේ.

තරගයට මෙන් ඉදිරිපත් වන මෙම කෘත්‍රිම බුද්ධි වැඩසටහන් අතර රූපවාහිනී පුවත් නාලිකාවන්හි පුවත් නිවේදක නිවේදිකාවන් සඳහා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදාගැනීමේ ප්‍රවණතාවක්ද අද දක්නට ලැබේ. එහි ප්‍රතිඵල ලෙස වඩාත් සාර්ථක ලෙස කෘත්‍රිම බුද්ධි පුවත් නිවේදකයන් බොහෝ පිරිසක් නිර්මාණය කරන්නට අදාළ නාලිකා සමත්ව තිබේ.

මෙහිදී ලොව විවිධ රටවල පුවත් නාලිකා මගින් ඉදිරිපත් කළ කෘත්‍රිම බුද්ධි නිවේදිකාවන් අදාළ රටෙහි සංස්කෘතික ගුණාංග සහ ඒවායේ ආවේණික ලක්ෂණ ආරක්ෂා කරගනිමින් නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි. උදාහරණයක් ලෙස ඉන්දියාවේ ඔච්ඡා ප්‍රාන්තයේ විකාශය කෙරෙන Otv නාලිකාව පසුගියදා එළිදැක් වූ සිය කෘත්‍රිම බුද්ධි පුවත් නිවේදිකාව සැරසීම සඳහා යොදාගත්තේ එම ප්‍රාන්තය වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති අත්යන්ත්‍ර පේෂකර්මාන්තය හරහා නිර්මාණය කළ සාරියකි.



 මෙලෙස කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හරහා නිර්මාණය කළ පුවත් නිවේදක නිවේදිකාවන් නාලිකා සඳහා යොදාගැනීම එම නාලිකාවල පිරිවැය බොහෝමයක් ඉතිරි කරනු ඇතැයි අදහස වී තිබේ. විශේෂයෙන්ම පුවත් නිවේදක නිවේදිකාවන් සදහා සිදුකරන වැටුප් ගෙවීම, අතිකාල දීමනා ගෙවීම, මාතෘ නිවාඩු ලබාදීම ඇතුළු කාරණා මෙම කෘත්‍රිම බුද්ධි නිවේදක නිවේදිකාවන් සදහා අදාළ නොවීම ඊට හේතුවයි. එසේම දවසේ පැය 24 පුරාම මෙම පිරිසට රාජකාරියේ නිරතවීමට ඇති හැකියාවද කැපී පෙනෙයි.

ලෝකය වෙත මෙම කෘත්‍රිම බුද්ධි පුවත් නිවේදක නිවේදිකාවන් පිළිබඳ සංකල්පය පළමු වැනි වරට හදුන්වා දුන්නේ චීනයයි. ඒ 2018 වසරේදී එරට රජයට අයත් පුවත් සේවාව වන Xinhua නාලිකාව මගින් සිය පුවත් ප්‍රකාශය සඳහා අතථ්‍ය පුවත් නිවේදකයෙකු යොදා ගනිමිනි. මෙහිදී ඔවුන් කෘත්‍රිම බුද්ධි නිවේදකයන් දෙදෙනකු නිර්මාණය කළ අතර, ඉන් එක් අයෙකුට චීන භාෂාවත්, අනෙකාට ඉංග්‍රීසි භාෂාවත් හැසිරවීමේ හැකියාව පවතී.

මෙලෙස අදින් වසර පහකට පෙරාතුව චීනය ආරම්භ කළ මෙම ප්‍රවණතාව අද ඉතාමත් දිගු දුරක් ගොස් තිබේ. ඒ අතරින් ඉන්දියාව ඇතුළුව ආසියානු කලාපීය රටවල් ප්‍රධාන තැනක් ගනී. දකුණු ඉන්දියාවේ විකාශය කෙරෙන Aaj Tak පුවත් නාලිකව මේ වසරේ අප්‍රේල් මාසයේදී සිය කෘත්‍රිම බුද්ධි නිවේදිකාව එළිදැක්වීය.

Sana නමින් හැඳින්වූ ඇය එහිදී ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ඉදිරිපත් කරන්නීය. මේ අතර ඉන්දීය අගමැතිවරයා පසුගිය සතියේදී සිදුකළ ප්‍රංශ සංචාරයේදී එම පුවත් ආවරණය සම්පූර්ණයෙන්ම ප්‍රංශ භාෂාවෙන් සිදු කිරීමටද sana ට හැකි විය.



එසේම ඔඩිෂා ප්‍රාන්තයේ Otv නාලිකාව මගින් පසුගියදා ඉදිරිපත් කළ Lisa නම් පුවත් නිවේදිකාවට ඉංග්‍රීසි සහ ඔඩියා භාෂාවන්ගෙන් පුවත් නිවේදන ඉදිරිපත් කළ හැකිය. මීට අමතරව ඉන්දියාවේ කන්නඩ ප්‍රාන්තයේ සිට විකාශය කරන පුවත් නාලිකාවක් වන Power Tv නාලිකාවද soundarya නමින් තමන්ගේම කෘත්‍රිම බුද්ධි නිවේදිකාවක් හදුන්වාදීමට පසුගියදා කටයුතු යෙදීය.

ඉන්දියාව මතු නොව මෙම කෘත්‍රිම බුද්ධි පුවත් නිවේදක නිවේදිකාවන් නිර්මාණය පිළිබඳ ප්‍රවණතාව දැන් අග්නිදිග ආසියානු කලාපීය රටවල් රැසකට ව්‍යාප්ත වී තිබේ. ඒ අතරින් හොංකොං හි රජයට අයත් රූපවාහිනි නාලිකාව වන RTHK නාලිකාව Aida නමින් සිය කෘත්‍රිම බුද්ධි නිවේදිකාව හඳුන්වාදීම පසුගිය මාසයේදී සිදුකළේය. ඇය විසින් සදුදා සිට සිකුරාදා දක්වා එම නාලිකාවේ කාලගුණික වාරිතාව ඉදිරිපත් කරයි.

එසේම ඉන්දුනීසියාවේ tvone නාලිකාව පසුගියදා තමන්ගේ කෘත්‍රිම බුද්ධි නිවේදිකාවන් තිදෙනෙකු හඳුන්වාදුනි. ඔවුන් Nadira, Sasya සහ Bhoomi යන නම්වලින් හැදින්වෙයි.



මේ අතර තායිවානයේ FTV පුවත් නාලිකාවත් සිය කාලගුණික වාර්තාව ඉදිරිපත් කිරීම සදහා පසුගිය ජූලි 03වැනිදා සිට කාත්‍රිම බුද්ධි නිවේදිකාවක් යොදාගෙන තිබේ. මාස හයක් පුරා සිදුකළ සංවර්ධනයක ප්‍රතිඵලයක් ලෙස මෙම නිවේදිකාව හඳුන්වාදී ඇති අතර, මෙතෙක් ඇයට නමක් ලබාදී නැත.

එසේම මැලේසියාවේ Astro Awani නාලිකාවත් Joon සහ Monica නමින් තමන්ගේම කෘත්‍රිම බුද්ධි නිවේදක නිවේදිකාවන් දෙදෙනකු හඳුන්වාදීමට පසුගියදා කටයුතු යෙදීය. මෙහිදී ඔවුන් පුවත් ප්‍රකාශවලට අමතරව සංවාද වැඩසටහන් පවත්වන බවත් සඳහන් වෙයි.

මෙලෙස රූපවාහිනී පුවත් ප්‍රකාශ සදහා කෘත්‍රිම බුද්ධි නිවේදක නිවේදිකාවන් යොදවා ගැනීම ස්වාධීන ජනමාධ්‍යවේදයක් සදහා පවතින අවස්ථාවන් උල්ලංඝනය කිර්මක් බවටත් ඇතැම් පිරිස් චෝදනා කර සිටියි. විශේෂයෙන්ම එම පුවත් නාලිකා තමන්ට

අවශ්‍ය දේ ප්‍රකාශ කර ගැනීම සඳහා මෙවැනි කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගන්නා බවත්, ඉදිරියේදී එම නාලිකා සියලුම කටයුතු සදහා මෙම තාක්ෂණය යොදා ගැනීමෙන් නිදහස් ජනමාධ්‍යයක් ලොවට අහිමිව යනු ඇතැයිද අදහස වී තිබේ.