මොළය මියගිය රෝගියකුගේ අවයව එම රෝගියාගේ භාරකරුවන්ගේ කැමැත්තෙන් ලබාගෙන වෙනත් රෝගීන් සිව්දෙනකුට බද්ධ කිරීම සඳහා ලබාගැනීමේ කටයුත්ත පෙරේදා (18) උඩුගම මූලික රෝහලේ දී එම රෝහල් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවිය. මෙම කටයුත්තේදී අවයව දායකයා වූයේ අකුරැස්ස, බංගම පදිංචි එල්. ප්‍රේමවතී නමැති සත්දරු 69 හැවිරිදිමවකි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උඩුගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ තම රෝහලට දානපතියන්ගේ පරිත්‍යාගයෙන් ඉදිකරන ලද දැඩිසත්කාර ඒකකය ආරම්භ කිරීම හේතුවෙන් මෙවැනි අවයව ලබාගැනීමට හැකිවූ බවයි. වකුගඩු දෙක සහ අක්ෂි කාච ලබාගෙන තිබේ.
මෙම කටයුත්තේ දී උඩුගම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ලක්මාල් විතානගේ, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්රශාන්තර් සහ උඩුගම රෝහලේ අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකාරක වෛද්‍ය සඳුනි වික්‍රමාරච්චි මහත්වරුන් හා මීට සම්බන්ධ වූ හෙද අතුරු වෛද්‍ය රසායනාගාර කාර්ය මණ්ඩල සහ මෙම පරීක්ෂණ කටයුතු පැය භාගයක් වැනි සුළු කාලයකදී කර දුන් කරාපිටිය ශික්ෂණ රෝහලේ වයිරසවේද රසායනාගාරයේ සහායද පැසසිය යුතු බවයි. මියගිය තැනැත්තියගේ අවයව භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු රෝගීන් තිදෙනකුට බද්ධ කිරීම සඳහා ජාතික අවයව මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවද රෝහල් වෛද්‍ය අධිකාරිවරයා පැවැසීය.
මොළය මියගොස් සිටි මෙම රෝගියා අවයව ලබා ගැනීම සඳහා ඉතාමත් සුදුසු අයෙකු බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව වෛද්‍ය ඩබ්. සඳුනි වික්‍රමාරච්චි මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක විය. එහිදී අවයව ලබාගැනීමේ ක්‍රියාවලිය සඳහා ජාතික අවයව මධ්‍යස්ථානය නියෝජනය කරමින් ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් කුමාරසිංහ මහතා ප්රමුඛ කණ්ඩායම මහඟු දායකත්වයක් දුන්නේය.
අක්ෂි කාච ලබාගැනීම හෙද නිලධාරි ඩබ්ලිව්. එච්. එන්. කේ. වන්නි ආරච්චි මහතා ප්රමුඛ කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබීය. මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා දැඩි සත්කාර ඒකක කාර්යය මණ්ඩලය මෙන්ම ශල්‍යාගාර කාර්යය මණ්ඩලයද තම උපරිම දායකත්වය දුන් බව උඩුගම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා පවසයි.
අවයව ලබා ගැනීමට පෙර ඒ සඳහා අවශ්‍ය පූර්ව පරීක්ෂණ සිදුකර ගැනීමේදී ඉතාම කෙටි කාලයකින් ඒ සියල්ල කර දෙමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වයිරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධිනී සමරවීර මහත්මිය VDRL පරීක්ෂණය සඳහා මහමෝදර ශික්ෂණ රෝහල, උඩුගම රෝහල් රසායනාගාර කාර්ය මණ්ඩලය මෙන්ම ලේ බැංකු කාර්ය මණ්ඩලය ඉතාම කැපවීමෙන් කටයුතු කළ බව පවසන වෛද්‍ය අධිකාරිවරයා අවයව පරිත්‍යාග කිරීම සඳහා කැමැත්ත දුන් ප්‍රේමවතී මහත්මියගේ පවුලේ ඥාතීන්ට ස්තූතිය පුද කරන බවද වැඩිදුරටත් පැවැසීය.
පී.ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා
0 Comments