මගුල් ගෙදර නොගොස් පාසල් යන්න යැයි, තම මවගේ කීමට උරණ වූ 13 හැවිරිදි පාසල් සිසුවියකගේ සිරුර නාන කාමරයේ එල්ලෙමින් තිබියදී ඉකුත් සිකුරාදා (07) රාත්‍රියේ සොයාගෙන ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයේ වේයන්ගල්ල පදිංචි පාසල් සිසුවියක් වන අතර ඇය අලුත්ගම, අටළුගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක සිට එම ප්‍රදේශයේ පාසලක අධ්‍යාපන කටයුතු කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඇය එම නේවාසිකාගාරයේ සිට, ඉකුත් සිකුරාදා තම නිවසට පැමිණ ඉදිරි දිනකදී පැවැත්වීමට නියමිත මගුල් ගෙදරකට තමන්ද සහභාගිවීමට අවශ්‍ය බව ඇය සිය මවට පවසා ඇතැයි පොලිසිය සඳහන් කරයි. දියණිය ඒ සඳහා සහභාගී වීම අවශ්‍ය නොවන බවත් නේවාසිකාගාරයට ගොස් පාසල් යන ලෙසට මව ඇයට අවවාද කර ඇති බවද පොලිසිය කියයි. එයට උරණ වූ පාසල් සිසුවිය එදින රාත්‍රී නානකාමරයට ගොස් පැමිණීම ප්‍රමාද වූ නිසා නිවැසියන් නාන කාමරයේ දොර කඩා බලද්දී සිසුවියගේ සිරුර එහි එල්ලෙමින් තිබෙනු දක්නට ලැබී ඇතැයි පොලිසිය පවසයි.
මේ පිළිබඳව අගලවත්ත පොලිස්ථානයට දැනුම් දීමෙන් පසු පොලිස් ස්ථානාධිපති තරිඳු හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත පැමිණි පොලිස් කණ්ඩායමක් කළ පරීක්ෂණයකින් අනතුරුව සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා කළුතර නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් ඇත. අගලවත්ත පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
ලක්මි කුඩලිගම
0 Comments