aluthgama-incident

අලූත්ගම මොරගල්ලේ ඉදිකෙරෙන සංචාරක හෝටල් වැඩබිමක බිම සිට ඉහළ මහල් වෙත වැලි ගෙනගිය යන්ත්‍රය වැලිඉවත් කළ පසු එම යන්ත්‍රයේ ගැටී සිදුවූ අනතුරකින් උපකොන්ත්‍රාත්කරුවකු වූ තරුණයකු 23දා මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කොබෙයිදූව, මිරිස්වත්ත, බෙන්තොට පදිංචිව සිටි ගලබොඩ ආරච්චිගේ එරන්ද සම්පත්
(24) නමැති අවිවාහකයකු බව පොලිසිය කියයි.


මරණකරුගේ සොහොයුරකු ද මෙම වැඩබිමේ සේවය කර ඇති අතර තුවාලකරු කඩිනමින් රෝහල්ගත කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව හදිසි මරණ පරීක්ෂකවරයා සඳහන් කළේය.
වැඩබිමේ දෛනික රාජකාරි ආරම්භ කර සුළු වේලාවකදී මෙම අනතුර සිදුවී ඇති අතර එම යන්ත්‍රයේ අනාරක්ෂිතව භාවය හේතුවෙන් සිදු වූ අනතුරකින් මෙම මරණය සිදුවී ඇතැයි මියගිය පුද්ගලයා
වැටුණු ස්ථානය නිරීක්ෂණය කළ බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් සඳහන් කළේය. හෙට්ටිආරච්චි මහතා
මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස අලුත්ගම පොලිසියට නියෝග කර තිබේ.


මෙම අනතුර සිදුවන විටත් වැඩ පරිපාලකවරයා සේවයට පැමිණ නොසිට ඇති අතර මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී ආරක්ෂිත තත්ත්වය ගැන එම
පරිපාලකවරයා සැලකිලිමත් විය යුතු බව මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම මරණය සම්බන්ධයෙන් වැඩබිම් පරිපාලකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බේරුවල හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කළේය.
අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොමේෂ් රත්නසිංහම් බිමේ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් රත්නායක මහතා විමර්ශන සිදු කරයි.

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා