ampara-incident

අම්පාර ප්‍රදේශයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී කාන්තාවක නාන කාමරයේ දිය නාමින් සිටින අයුරු ජංගම දුරකථනයකින් වීඩියෝ කළ ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනියකගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියකු වශයෙන් කටයුතු කරන පොලිස් සැරයන්වරයකු බව පොලිසිය පවසයි.

මන්ත්‍රිනියගේ නිවසට ආසන්න ඉඩමකට මෙම සැකකරු මීට දින කිහිපයකට පෙර අනවසරයෙන් ඇතුළු වී කාන්තාවක දිය නාන අයුරු ජනේලයෙන් වීඩියෝගත කර ඇති බවද පොලිසිය පවසයි.

කාන්තාව මෙම සිද්ධිය දැක අම්පාර පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පොලිසිය විමර්ශනයක් පවත්වා සැකකරු පෙරේදා (24) අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරුගේ ජංගම දුරකතනයේ එම වීඩියෝ දර්ශන තිබූ බවද පොලිසිය කියයි.

අයුතු ලෙස ඇතුළු වී කාන්තාවකට ලිංගික අතවරයක් කළේ යැයි කියන චෝදනාව යටතේ මෙම සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. ඇමති ආරක්ෂක කොට්ඨාසයට ද මෙ සැකකාර සැරයන්වරයා සම්බන්ධයෙන් දැනුම්දී ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. අම්පාර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර සැරයන්වරයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන  යයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය