ආණමඩුව තෝනගල ප්‍රදේශයේ ආපන ශාලාවක් තුළදී බිරිඳගේ අනියම් සැමියා මරා දැමීමේ සිද්ධියක සැකකරුවූ යුද හමුදා උප ලුතිනන් වරයෙකු මෙකීඝාතනය සිදුවී වසර 6 කට පසු අත්අඩංගුවට පත්වී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදා පාබල බළකායේ වෙන්නකේනි කඳවුරේ සේවය කළ උපලුතිනන්වරයෙකි.
අත්අඩංගුවට ගැනුණ උපලුතිනන්වරයා ඝාතනය සිදුකරන සමයේ සිට යුද හමුදා සේවයෙන් පලාගිය තැනැත්තකු බවත්
පොල්පිතිගම ප්‍රදේශයේ මුල් පදිංචිකරුවකු වන ඔහු පසුව නිකවැව, මොරගොල්ලාගම පදිංචියට පැමිණ ඇති බවත් පොලිසිය කියයි.
මෙම හිටපු උපලුතිනන්වරයා කලින් විවාහයෙන් නීතියෙන් වෙන්ව දෙවැනි විවාහයක් සිදුකරගෙන සිටි
බවත් දෙවැනි විවාහයේ බිරියගේ අනියම් සැමියා මෙසේ ආණමඩුව, තෝනිගල ප්‍රදේශයේ දී සිය බිරිඳ සමග ආපන
ශාලාවක් තුළදී 2017 මාර්තු 26 දින ආහාර ගනිමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී තියුණු ආයුධයකින් ඇන ඝාතනය සිදුකර ඇති බව කියයි.
මෙම සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ ආණමඩුව, තෝනිගල, කුමාරගම පදිංචි සේනාධීරගේ
දුමින්ද ප්‍රදීප් නමැති පෞද්ගලික බස් රථ රියැදුරකු ලෙස සේවය කළ එවකට 36 වැනි වියේ පසුවූ විවාහකයකු බව කියයි.
ඝාතනයට ලක්වූ තැනැත්තා සමග මෙම උපලුතිනන්වරයාගේ බිරිය අනියම් ඇසුරක් කලක සිට පවත්වා තිබුණත් එය නවතා දැමීමට අවස්ථා කිපයකදී මෙම උපලුතිනන්වරයා දැඩි වෙහෙසක් ගෙන තිබූ නමුත් බිරිය දිගින් දිගටම මෙම අනියම් ඇසුර පවත්වාගෙන යාම ඉවසා ගැනීමට නොහැකිව කෝපයෙන් පසු වී ඇති බවත් ඒ අනුව මෙම ඝාතනය සිදුකර ඇති බවද පොලිස් පරික්ෂණවලදී හෙළිව තිබේ.
ඝාතන සිද්ධියෙන් පසුව ආපන ශාලාවේ සිටි පිරිස් හා ප්‍රදේශවාසින් මෙම ප්‍රධාන සැකකරු අල්ලාගෙන පහර දී තිබූ බවත් පොලිසිය පැමිණීමත් සමග පලාගොස් සිටි බවත් කියයි.
මෙම ඝාතනය නොවිසිඳුණ අපරාධයක් ලෙස පොලිස් පොතේ සටහන්ව තිබියදී ආණමඩුව පොලිසියේ අපරාධ අංශයේ පොලිස් කොස්තාපල් (76743) වර්ණ සූරිය යන නිලධාරියා දුරකථන විශ්ලේෂණ හා අනිකුත් කරුණු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සිදුකළ විමර්ශනයෙන් පසුව සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකිව තිබූ බව පොලිසිය පවසයි.
මෙම ඝාතනයෙන් පසු මෙම සැකකරු කොළඹ ප්‍රදේශයට පලා ගොස් සිට ඇති බවත් එහිදී කුලී වැඩ ඇතුළු රැකියා රැසක් කරමින් මුදල් උපයාගෙන පසුව හොරණ, බුලත්සිංහල, අතුර ප්‍රදේශයේ විවිධ රැකියාවන් කරමින් කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස රහසිගත නමකින් පෙනී සිටි බවට හෙළිවී යැයිද කියයි.
ඝාතනයෙන් පසුව මෙම හිටපු උපලුතිනන්වරයා කිසිවකුට සැක නොසිතෙන අයුරින් වෙනත් නමකින් පෙනී සිටිමින්
ව්‍යාපාර රැසක් සිදුකර ඇති බවත් එයින් උපයා ගත් මුදලින් ඉඩම් හා වාහන රැසක ධනවත් ව්‍යාපාරිකයකු ලෙස ප්‍රදේශයේ
නමක් දරා සිටි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
මෙම ඝාතනයෙන් පසු සැකකරුගේ බිරිය රහසේ විදේශගතව ඇති බවත් මෙම සැකකරුට සිටි එකම දරුවා තම මව්පියන් භාරයේ රඳවා උසස් අධ්‍යාපන කටයුතුවලට නිසි ලෙස යොදවා ඇති බවත් කියයි. කිසිම අවස්ථාවක දරුවා බැලීමට පවා මෙම සැකකරු ගොස් නොමැති බවත් දරුවාගෙ සියලු කටයුතුවලට මුදල් යොදමින් දරුවා ඉහළට රැගෙන යාමට කටයුතු කර ඇති
බවද පොලිස් පරික්ෂණවලදී හෙළිව තිබේ.
ඒ සමගම මෙම සැකකරු තම එකම දරුවාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යොමුකර ඇති බවත් ඒ සඳහා ලක්ෂ 26 කට ආසන්න මුදලක් යොදවා ඇත්තේද ප්‍රසිද්ධියේ පෙනී සිටීමකින් තොරව බවත් පොලිසිය කීය.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ පුතා මෙම සැකකරුට හඳුනාගැනීමට පවා හැකිවී නොමැති බවත් පියා හා පුතා දෙදෙනා අතර සම්බන්ධතාව වසර හයක් පුරා සිදුව ඇත්තේ දුරකතනයෙන් පමණක් බව කියයි.
අත් අඩංගුවට ගත් මෙම යුද හමුදා හිටපු උපලුතිනන්වරයා ආණමඩුව අධිකරණයට 7 දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස්. කේ. රූපසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ආණමඩුව සහකාර පොලිස් අධිකාරි සමන් ප්‍රියන්ත මහතාගේ අධික්ෂණයෙන්
ආණමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ.එන්. සිරිමෙවන් මහතා හා අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.එස්. ජයන්ත, පොලිස් කොස්තාපල් (73336) රංග හා පොලිස් කොස්තාපල් (76743) වර්ණසූරිය යන නිලධාරිහු සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ හා ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
0 Comments