anguruwatota-incident

අඟුරුවාතොට කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින ප්‍රධාන සැකකාර හමුදා සෙබළා උකස් තබා ඇත්තේ එම කාන්තාව පැලඳ සිටි රන් මාලය දැයි නිශ්චිතව තහවුරු කර ගැනීමට අධිකරණ නියෝග ලබා ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරු පසුගිය (21දා) හොරණ නගරයේ උකස් මධ්‍යස්ථානයකට පැමිණ රන් මාලයක් උකස් කර රුපියල් 48,000ක මුදලක් ලබා ගෙන තිබූ බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

ඒ බව අනාවරණය වී ඇත්තේ සැකකරුගේ හැඳුනුම්පත් අංකය ඔස්සේ සිදු කළ විමර්ශනවලදීය.



තවද ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට එම උකස් මධ්‍යස්ථානයෙන් ආරක්ෂක කැමරා දර්ශනද ලබා ගැනීමට නියමිතය.

 ඉකුත් (18දා) ඝාතනයට ලක්වූ කාන්තාව සහ ඇයගේ කුඩා දියණිය නිවසින් තුරුදන් වූ අතර එයින් දින තුනකට පසු එනම් (21දා) ඔවුන් දෙදෙනාගේ මළසිරුරු මීටර් 700ක් පමණ ඈතින් වූ රත්මල්ගොඩ කැලෑවක තිබී පොලීසිය මගින් මගින් සොයා ගැනිණි.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා ඔවුන් දෙදෙනා අතුරුදන් වූ දින රාත්‍රියේදී තම මස්සිනා අතුරුදන්වීමේ සිද්ධියට සැක බව අඟුරුවාතොට පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබූ අතර ඒ හේතුවෙන් සැකකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන දින දෙකකට පසු මුදාහැර තිබිණි.



මවගේ සහ දියණියගේ මළසිරුරු හමුවීමෙන් අනතුරුව ඊට පසුදින (22දා) සැකකරු වරකාගොඩ ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන හොරණ මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්කර සිටියදී රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් මධ්‍යයේ හොරණ මූලික රෝහලේ රඳවා සිටි සැකකරු පෙරේදා (24දා) කළුතර නාගොඩ මහ රෝහලට මාරු කර රැගෙන ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ඒ.පී.එස්. අමරසේකර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ