antibiotics-issue

කල් ඉකුත් වීමට ආසන්න ප්‍රතිජීවක ඖෂධ විශාල තොග මේ වන විට රෝහල්වලට ලැබී තිබෙන බවත්, මෙම ඖෂධ නිෂ්පාදනය කර තිබෙන්නේ 2020 වසරේදී බවත් සමස්ත ලංකා හෙද සංගමය සදහන් කරයි.

අසාදන සඳහා ලබා දෙන මෙම ප්‍රතිජීවක එන්නතේ හිඟයක් පසුගිය කාලයෙහිදී පැවැතුණද මේ වන විට විශාල වශයෙන් මෙම එන්නත් තොග ලැබී තිඛෙන බව එම සංගමයේ සභාපති හෙද නිලධාරී රවීද්‍ර කහඳවආරච්චි මහතා සඳහන් කළේය.මේ මාසයෙන් පසු මෙම ඖෂධය කල් ඉකුත් වෙයි.



එමෙන්ම මීට අමතරව ඖෂධ ශරීරගත කිරීමට අවශ්‍යවන මි.ලි.10 හා මි.ලි. 20 ප්‍රමාණයේ සිලින්ජරවල විශාල හිඟයක් රෝහල්වල ඇති වී තිබේ. මේ නිසා මි.ලි.10ක ප්‍රමාණයක් රෝගියකුට එන්නත් කිරීමට අවශ්‍යවන අවස්ථාවලදී මි.ලි. 5 සිලින්ජරවලින් අවස්ථා දෙකකදීත් මි.ලි. 20ක් එන්නත් කළ යුතු අවස්ථාවලදී අවස්ථා හතරකදීත් එන්නත ශරීරගත කිරීමට සිදුව තිඛෙන බවද සභාපතිවරයා සදහන් කළේය. මෙය හෙද නිලධාරීන්ගේ කාලය කා දැමීමක් සේම ඔවුන් වෙහෙසට පත් කිරීමකි. රෝහල් වාට්ටු තුළදී යම් ගැටලුවක් ඇතිවූ විට හෙද කාර්යමණ්ඩලයට චෝදනා එල්ල වෙමින් තිබේ. එහෙත් සේවා කටයුතු සිදුකරනු ලබන්නේද විශාල හෙද හිඟයක් සහිතව බව රවීන්ද්‍ර කහඳවාරච්චි මහතා සදහන් කළේය.



බාහිර රෝගී අංශවල පවතින ඖෂධ හිඟයට සමාන ඖෂධ හිඟයක් වාට්ටුවල පවතින බවත්, ඖෂධවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුද යම් යම් අවස්ථාවල වාරිතාවන බවත්, මේ නිසා පවතින ඖෂධ හා උපකරණ හිඟයට කඩිනමින් විසඳුම් අවශ්‍ය බවත් හෙතෙම පැවසීය.

  ඉන්දික හේවාවිතාරණ