army-lady-monk

 ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික මේජර්වරියක වන මනීෂා ඉන්දීවරී වික්‍රමසිංහ මෙනවිය වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින් අද (27) උදෑසන සුබ මොහොතින් සසුන්ගත වීමට නියමිතය.

බුලුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්ති රතන, ගලඋඩහේනේ විශුද්ධි රතන සහ බද්දේගම ජිනසාර යන හිමිවරුන්ගේ උපාධ්‍යයත්වයෙන් යුතුව ඇය සසුන්ගත වීමට නියමිතව ඇත.



තිස් පස් වන වියේ පසුවන ඇය ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිදහස් ආර පැරිෂුට් පැනීමේ ප්‍රථම කාන්තා නිලධාරිනිය ද වූවාය.

යුද හමුදාවේ රාජකාරි කරන සමයේ විවිධ අවස්ථාවලදී ඉහළ අහසේ සිට වාර හාරසිය අනූවක් පැරිෂුට් ආධාරයෙන් බිමට පැන ඇති බව විශ්‍රාමික මේජර් වික්‍රමසිංහ මෙනෙවිය පැවසුවාය.

එංගලන්තය, ජර්මනිය සහ දෝහාකටාර්වල පැවති ලෝක පැරිෂුට් තරගවලට ද සහභාගි වී ඉහළ අහසේ සිට බිමට පැන දස්කම් දක්වා ඇති ඇය, ශ්‍රී ලංකා මාතාවට ගෞරවයක් හා අභිමානයක් ලබාදී ඇති නිලධාරිනියකි.

කරන්දෙණියේ පදිංචි ඇයගේ පියා ටී.ඩී. මාටින් මහතා වන අතර, මව ටී.ඩී. සෝමාවතී මහත්මියයි.

දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ එකම දියණිය වන්නේ මනීෂාය. ඇයගේ සහෝදරයෙක්ද ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළකු ලෙස සේවය කරයි.

ගාල්ල, මඩකුඹුර ජාතික පාසලේ සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවියක වන ඇය, 2008 වසරේදී කැඩේට් නිලධාරිනියක ලෙස දියතලාව යුද හමුදා විද්‍යාපීඨයට ඇතුළත් වී නියමිත පුහුණුවීම් ලබා දෙවැනි ලුතිනන් නිලයට පත් වූවාය.

ඇය යුද හමුදාවේ විශ්‍රාම ලැබුවේ මෙම වසරේ ජනවාරි මස 4 වැනිදාය.

ඇය වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් සටන් පැවති කාලයේ මුලතිව් පුදුමාතලන් ඉදිරි ආරක්ෂක වළල්ලේ ද රාජකාරි කළාය.

"අපේ ගෙදර තිබුණේ තනිකරම බෞද්ධ පරිසරයක්. මම පුරුද්දක් වශයෙන් කුඩා කාලයෙහි සිටම පන්සල් යනවා.

ධර්ම දේශනාවලට සවන් දෙනවා. බුදු පිළිම වන්දනමාන කිරීම සහ බෝධි පූජා පැවැත්වීමට එහා ගිය ගැඹුරු දහමක් බුදු දහමේ තිබෙන බව මට කලක් යද්දී අවබෝධ වුණා. මම හැකි සෑම අවස්ථාවකම බුදු දහම ගැන ලියවුණු පොත්පත් කියෙව්වා. ඒ අනුව මනමාලියක් වීමේ සිහිනය අතහැර පැවිදි දිවියට ඇතුළත් වීමට තීරණය කළා’” යැයි ද ඇය පැවසුවාය. ඕනෑම කෙනකුට ජීවිතයේ ඇතිවන ඕනෑම ගැටලුවකට ප්‍රශ්නයකට බුදු දහමේ විසඳුම් තිබෙන බව තමා අවබෝධ කරගත්තේ යැයි ද ඇය කීවාය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය