asp-piliyandala

හිතවතියක විසින් දිනකට පෙර කරන ලද පැමිණිල්ලක් විභාග නොකළැයි උරණ වූ සහකාර පොලිස් අධිකාරීවරයෙකු එම කාන්තාවද සමග පිළියන්දල පොලීසියට පෙරේදා (03දා) පැමිණ එහි සිටි නිලධාරීන්ට බැණ වැදී ආවේගශීලීව හැසිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු මෙලෙස පොලිස් නිලධාරියෙකුට සුදුසු නොවන අන්දමින් හැසිරි ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෙදිපිළි අලෙවි කිරීමකදී ඇතිවූ මුදල් ආරවුලක් සම්බන්ධයෙන් පැලැන්වත්ත පොල්ගේන ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලක් විභාග නොකළැයි පවසමින් සහකාර පොලිස් අධිකාරිවරයා බැණ වැදීම සිදුකර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. "තමුසෙලා ඕයි ඇහැට කනට පේන පාට කෑල්ලක් ආවොත් විතරද වැඩ කරන්නේ, උඹලා සල්ලි අරගෙන තමයි වැඩ කරන්නේ.

උඹලාගේ හැටි මම දන්නවා” යැයි පවසමින් සහකාර පොලිස් අධිකාරිවරයා එහි සුළු පැමිණිලි අංශයේ වැඩබලන ස්ථානාධිපති ලෙස කටයුතු කළ උපපොලිස්  පරීක්ෂකවරයාට මෙන්ම අනෙකුත් නිලධාරීන්ටද පොලිස් භූමිය තුළ බැණවැදී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සිවිල් ඇඳුමින් සැරසුණු සහකාර පොලිස් අධිකාරිවරයා පොලීසියට පැමිණ ඇත්තේ එම ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ නිල ජිප් රථයෙන් බවත්, ඔහු එය ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ විහාරස්ථානයකට යන බව පවසා බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සහකාර පොලිස් අධිකාරිවරයාගේ හිතවතියගේ පැමිණිල්ල පොලීසියට ලැබී පැය 23ක් ගතවීමටත් පෙර විභාග නොකළ බව ඔහු බස්නාහිර පළාතේ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙන්ම ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාටත් දුරකථනයෙන් දැනුම් දී තිබෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සහකාර පොලිස් අධිකාරිවරයාගේ මේ නොමනා හැසිරීම සම්බන්ධයෙන් එහි බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම අනෙකුත් නිලධාරීන්ද උස් නිලධාරීන්ට පැමිණිලි කර ඇත. පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිලියන්දල පොලීසිය වෙත ඊයේ (04දා) පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අට දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ