අත්තනගලු ඔයේ තිහාරිය, දුල්මල ජල මාපකය අසලදී මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය 21 හැවිරිදි තරුණියක පෙරේදා (01 වැනිදා) දියේ ගිලී අතුරුදන්ව ඇත.
පොලිසිය, ගම්වාසීන් හා නාවික හමුදාව එක්ව පැය හතළිස් අටකට වැඩි කාලයක් මෙහෙයුම් සිදුකළද ඊයේ (03 වැනිදා) සවස වනවිටත් එම තරුණිය හමුවී නොතිබිණි.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ කොළඹ, ගුණසිංහපුර මහල් නිවාසවල පදිංචි ෆාතිමා ෆ්ස්ලා නමැති 21 හැවිරිදි තරුණියකි.
හජ් උත්සවය සැමරීමෙන් පසු ඇය පසුගිය 01 වැනිදා යෙහෙළියක සමග තිහාරිය ප්රදේශයේ ඥාති නිවසකට පැමිණ ඇත. එදින එම නිවසෙන් දහවල් ආහාරය ගෙන පසුව පස්වරු 04.00ට පමණ ඇය යෙහෙළියන් සහ ඔවුන්ගේ සහෝදරයන් සමග තිහාරිය, දූල්මල ප්රදේශයේ ජල මාපකය අසල දිය නෑමට ගොස් තිබේ.
දිය නෑමට පෙර එම පිරිස සෙල්ෆි ජායාරූපයක් ද ගෙන තිබිණි. මද වේලාවක් දිය නාමින් සිටි ෆාතිමා ගලක් මතට නැග තිබුණේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමටය. එම අවස්ථාවේ පය ලිස්සා ඔයට ඇද වැටී තිබුණු ඇය “අනේ මට පීනන්න බෑ. මාව අල්ලගන්න’’ යැයි කියමින් කෑ ගසා ඇතත් කිසිවකුට ඇය බේරාගැනීමට හැකිවී නැත.
ඇයගේ මිත්තණිය සිය මිනිබිරියට අත්වූ ඉරණම ගැන මෙසේ පැවසුවාය.
‘‘මම මේ දරුවට යන්න එපා කියලා කිව්වත්, ආච්චි මම යාළුවත් එක්ක ගිහින් හවස ඉක්මනට එන්නම් කියලා තමයි ගියේ. එහෙම කියලා යාළුවත් එක්ක යාළුවගේ තිහාරියේ නෑදැ ගෙදරකට ආවේ. දුව නාලා ඉවර වෙලා ෆොටෝ එකක් ගන්න කියලා ගලක් උඩට නැගලා තියෙනවා. එතකොට තමයි පය ලිස්සලා වැටිලා තියෙන්නේ.’’
ෆාතිමා සමග දිය නෑමට ගිය යෙහෙළියක ද මෙසේ අදහස් දැක්වූවාය.
‘‘අපි හවස බත් කාලා අත්තනගලු ඔයට නාන්න ගියා. එයා නාමින් ඉන්න විට හදිස්සියේ ලිස්සලා වැටුණා. අනේ මට පීනන්න බෑ මාව බේරගන්න කියලා කෑ ගැහුවා. අපි බේරගන්න හැදුවත් අපිට බේරගන්න බැරි වුණා. එයා අත් දිගු කරමින් ඈතට නොපෙනි ගියා.’’
මනෝජ් එදිරිසිංහ - මීරිගම
0 Comments