baby-death-mattegoda

මවුකිරි සිරවීමෙන් බිලිදෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මත්තේගොඩ පොලීසිය පවසයි.
හෝමාගම මාගම්මන රන්දිය උයන පිස්කල් වත්තේ පදිංචි සවිනි ලක්ෂිකා ධනංජනී නමැති (36) හැවිරිදි සිව් දරු මවකගේ මාසයක් වයසැති පිරිමි බිලිදෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි. මෙම බිලිඳා මීට මාසයකට පෙර කළුබෝවිල ශික්ෂණ රෝහලේදී උපත ලබා ඇති අතර ඊට අදාළ උප්පැන්න සහතිකය හෝ මෙතෙක් ලියාපදිංචි වී නොමැති බව පැවසේ.



මෙම බිලිඳාගේ මව පියා වැඩිමහල් සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමග නිවසේ වාසය කර ඇති අතර ඊයේ 16දා) අලුයම 03 පමණ මෙම බිලිඳා අවදි වී හඬා වැටෙන අවස්ථාවේදී මව කිරි දී ගුඩුස් යවා නැවත නිදි කරවා පැයකට පමණ පසු යළි බිලිඳා දෙස බැලීමේදීද ඔහුගේ නාසයෙන් ලේ ගලා ගොස් තිබෙනු දැක බියවී ප්‍රතිකාර සඳහා ඔහුව හෝමාගම මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.

එහිදී වෛද්‍යවරු බිලිඳා පරීක්ෂා කොට පවසා ඇත්තේ බිලිඳා මියගොස් ඇති බවයි. ඒ අනුව සිරුර පිළිබද හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදු කරන ලදී.

 එහිදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ධම්මි ලුවිශ් හේවා මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට හා ඉදිරිපත් වූ සාක්ෂි පිළිබඳව සලකා බැලූ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදයකුමාර මහතා මරණයට හේතුව නොදක්වා සිරුරේ කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකොට විවෘත තීන්දුවක් ලබාදීමට පියවර ගත්තේය.



බිලිඳු මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට ලක් කරන අවස්ථාවේදී බිලිඳාගේ ආමාශයේ මවු කිරි රැදී තිබීම විවෘත තීන්දුවක් ලබා දීමට හේතුවක් වූ බව හදිසි මරණ පරීක්ෂකවරයා වැඩිදුරටත් කීය.

මත්තේගොඩ පො.කො. කුමාරසිංහ ඇතුළු පිරිසක් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ මෙහෙය වූහ.
( ශාන්ත ප්‍රදිප් කුමාර කුලරත්න )