balapitiya-incident

දස හැවිරිදි දැරියක ලිංගික අපයෝජනය කළේ යයි වරදකරුවකුවූ හිමි නමකට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් සහ අපයෝජනයට ලක්වූ දැරියට රු. 50,000ක වන්දි මුදලක් හා රු. 20,000ක දඩ මුදලක් ගෙවන ලෙසත්, දඩ මුදල් නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිර දඬුවමක්ද, වන්දි මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවමක්ද ලබා දෙන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (27දා) පස්වරුවේදී නියෝග කළේය.





මෙසේ සිර දඬුවම්,වන්දි හා දඩ මුදල් ගෙවීමට සිදුවූයේ අම්බලන්ගොඩ තිලකපුර උදයගිරි විහාරස්ථානයේ වැඩ වාසය කරමින් සිටි උණවටුණේ විමලසිරි නොහොත් උණවටුණේ නන්ද නමැති හිමි නමටය.

සැකකාර හිමිනම 2010 වසරේ සැප්තැම්බර් මස 25 හෝ ඊට ආසන්න දිනයකදී විහාරස්ථ දහම් පාසලට පැමිණි දස හැවිරිදි දැරියකට ඉංග්‍රීසි ඉගැන්වීමට යයි කියමින් විහාරස්ථානයට ගෙන්වා ගෙන කරන්න දුන් ඉංග්‍රිසි වැඩ බැලීමට යැයි කියමින් දැරිය විහාරස්ථානයේ කාමරයකට කැඳවාගෙන අපයෝජනය කළේ යයි කියමින් දැරියගේ දෙමාපියන් කළ පැමිණිල්ලකට අනුව සැකකාර හිමි නම අම්බලන්ගොඩ පොලීසිය විසින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගෙන එම හිමි නමට විරුද්ධව බලපිටිය අධිකරණයේ නඩු පවරන ලදි.



වසර දහතුනක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකාර හිමි නම දස හැවිරිදි දැරියකට ලිංගික අපයෝජන කළේ යයි වරදකරු කරමින් බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා එම හිමිනමට මේ සිර දඩුවම හා වන්දි මුදල්, දඩමුදල් නියම කළේය.

අම්බලන්ගොඩ පොලීසිය විසින් ගොනු කර තිබූ මේ නඩුව රජයේ අධිනීතීඥ සෞම්‍යා විජේසිංහ මෙනවිය විසින් මෙහෙයවන ලදි.

කරන්දෙණිය - එම්.සුසිල් ප්‍රියන්ත