nandalal-weerasinghe-speaks

ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාතික අඩු කිරීමේ වාසිය ගනුදෙනුකරුවන්ට ලබා දීමට බැංකු කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් බැංකු පොලී අනුපාත නියාමනය කිරීම සඳහා ක්‍රියා මාර්ග ගන්නා බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.  බැංකු පොලී අනුපාත යම් මට්ටමකට අඩුවුවත් තවදුරටත් අඩු විය යුතු බවත් ඒ සඳහා බැංකුවලට සහන කාලයක් හිමිවන බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.



එම කාලය තුළදී බැංකු විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩුවීමේ වාසිය ජනතාව වෙත දෙමින් වෙළෙඳපොළ පොලී අනුපාත අඩු කරනු නොලැබුවහොත් 2018 වසරේ මෙන් බැංකු වලට ඉලක්ක ලබා දීමට සිදුවන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. රන් උකස් ණය සහ ණය පත් පොලී අනුපාතද ඒ අනුව කාලානුරූපීව අඩු වනු ඇතැයි ඔහු පැවසුවේය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ මගපෙන්වීම යටතේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු ණය පත් පොලී අනුපාතිකය සියයට 2 කින් අඩු කළ බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා 5 වැනිදා පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 200 කින් පහළ දැමීමට තීරණය කළ අතර ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12 දක්වාත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් වර්ධනයන් සහ අපේක්ෂිත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මම තීරණයට එළැඹී බව ඔහු ප්‍රකාශ කළේය. එසේම මස අවසාන වන විට උද්ධමනය සියයට 7 දක්වාත් ඉන්පසුව මෙම වසරේ මැදභාගය වන විට උද්ධමනය තවත් පහළටත් යනු ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පසුගිය වසරේ සියයට 7.8 කින්ද මෙම වසරේ පළමු කාර්තුවේදී සියයට 11.5 කින් පහළ ගිය බව පෙන්වා දුන් අධිපතිවරයා මෙම වසර අවසාන වන විට ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි පෙන්වා දුන්නේය.

රජයේ ආදායම හැර ජූනි මස අනෙකුත් ඉලක්ක සියල්ල සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වූ බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. මෙරට දළ නිල සංචිත පසුගිය ජූනි මස අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් කෝටි 350ක් බවද ඔහු කීවේය.මෙම මුදලට චීන මහජන බැංකුව ලබා දුන් විදේශ මුදල් හුවමාරු පහසුකම්ද ඇතුළත් වන බව ඔහු පැවැසීය.

නිල සංචිත තවත් ගොඩනගා ගත යුතු බවත් රුපියල් කෝටි 350 සෑහීමකට පත්විය හැකි ප්‍රමාණයක් නොවන බවත් මහ බැංකු අධිපතිවරයා පැවසුවේය.

අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා බහුජාතික මූල්‍ය ආයතන රජයට මූල්‍ය සහාය සපයා තිබෙන බවත් මෙම වසරේ ඉතිරි මාස 6 ක කාලයේදී බහු ජාතික මූල්‍ය ආයතන වලින් ශ්‍රී ලංකාවට තවත් මූල්‍ය සහාය බලාපොරොත්තු විය හැකි බවත් ඔහු කීය. අර්ථසාධක අරමුදලට 2038 වසරේදී රුපියල් කෝටි ලක්ෂ 12 ක් අහිමිවන බවට පැතිර යන කතාව අසත්‍ය ප්‍රකාශයක් බවත් එම ඇස්තමේන්තුව සිදු කරන ලද තැනැත්තා එම ඇස්තමේන්තුව සිදු කර ඇත්තේ නොදැනුවත්භාවයෙන් හෝ ජනතාව මුළා කිරීමේ අදහසින් බව මහ බැංකු අධිපතිවරයා පැවසුවේය. ඉදිරි අවුරුදු 15 සඳහා සියයට 13.5 ක ඵලදායීතාවක් ලබා දීම සඳහා 2038 තෙක් ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 15 ක අගයක පැවතිය යුතු බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙම ඇස්තමේන්තුව වැරැදි ඇස්තමේන්තුවක් වුවත් අර්ථසාධක අරමුදලට යම් බලපෑමක් තිබෙන බවත් ඉදිරියේදී රජයේ ණය ගැනීමේ අවශ්‍යතාව අවම වන විට අර්ථසාධක අරමුදලට නව ආයෝජන උපාය මාර්ගයක් නැවත සිතීමට සිදුවනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. ජනතාව වෙනුවෙන් ගත හැකි හොඳම තීරණය ගෙන ඇති බවත් බැංකු පද්ධතිය කඩා වැටුණහොත් තිබෙන මුදලත් ජනතාවට අහිමි වන බවත් විරසිංහ මහතා පෙන්වා දුන්නේය. මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 18.3 කින් ශක්තිමත් වී ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

විමුක්ති එස්. රුද්‍රිගු