මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ දාරළුව ප්‍රදේශයේ පිහිටා තිබූ රතු දත්ත පොතේ සඳහන් වී ඇති වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති පඬුකරද (කෲඩියා සෙලනිකා) ගසක් නීතිවිරෝධීව කපා වළ දමා ඇති බව පවසන සිද්ධිය සම්බන්ධව කරුණු දැක්වීමට මේ මස 21වැනිදා අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙස ගම්පහ අඩවි වන නිලධාරීවරයාට නොතීසි යැවීමට ගම්පහ අංක 02 මහේස්ත්‍රාත් පාතිමා සහානා මහ්පි මහත්මිය ඊයේ (17දා) නියෝග කළාය.

එම පඞුකරද ගස නීතිවිරෝධීව ඉවත්කර ඇති බව පවසමින් මීට පෙර ගම්පහ අඩවි වන කාර්යාලය අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාවක් පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති, උඩස්ගිරියේ සමිත හිමියන්ගේ උපදෙස් පරිදි නීතිඥ ලක්දිනු ධීසේකර මහතා මෝසමක් මගින් ඊයේ නැවත කැඳවා කරුණු දක්වමින් රතු දත්ත පොතේ වඳවී යන ශාක වර්ගයක් වශයෙන් පඬුකරද නම් කර ඇති බව පවසා සිටියේය.



මෙය දුර්ලභ ගණයේ ගසක් බවත්, මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටා තිබූ එම පඬුකරද ගස හොර රහසේ කපා වළ දමා ඇති බවත් පවසා සිටි නීතිඥවරයා, කැබිනට් ඇමතිවරයෙකු එම ගස කපා ඉවත් කිරීම කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව කළ බව ප්‍රකාශ කර තිබූ බවද සඳහන් කළේය.

මේ පිළිබඳ ගම්පහ අඩවි වන කාර්යාලය මෙම බී වාර්තාව මගින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ, එම ගස කපා ඇත්තේ, කවුරුන්ද යන්න පරීක්‍ෂණ පවත්වා ගෙන යන බවත්, ඒ අනුව අධිකරණය නියෝගයක් පවා නිකුත් කර ඇති බවත් නීතිඥවරයා පවසා සිටියේය.



මේ අනුව දුර්ලභ ගණයේ එම ගස කපා ඇත්තේ, කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව බව ප්‍රකාශ කර ඇති හෙයින් මේ නීතිවිරෝධී අපරාධය කර ඇති පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වන නිලධාරීන් හට හැකියාව ඇති බැවින් එම අපරාධය සිදුකළ හා ඒ සඳහා භාවිත කර ඇති යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා සුදුසු නියෝගයක් නිකුත් කරන මෙන්ද නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ගම්පහ අඩවි වන නිලධාරිවරයාට එසේ අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙස දන්වා නොතීසි යැවීමට නියෝග කළ අතර, නඩුව නැවත කැඳවීම මේ මස 21වැනිදාට කල් තැබිණි.

පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් වෙනුවෙන් ලක්දිනු ධීරසේකර, උපුල් අබේවික්‍රම, ඇම්.ආර්. පෙරේරා, සංජය ගුණසේකර හා නීතිඥ චන්දිමා සතරසිංහ යන නීතිඥ මහත්ම මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

වාරණ - ආනන්ද ඉ. ජයකොඩි/ ගම්පහ - ටෝනි කරුණානායක