cancer-hospital-issue

මහරගම අපේක්ෂා රෝහලේ නවාතැන්ගෙන සිටින රෝගීන්ගේ ආහාර සකස් කිරීමට ගබඩා කර තිබූ රුපියල් 13,000ක පමණ වටිනා වියළි ආහාර තොගයක් සොරාගත් රෝහලේ අරක්කැමියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය සඳහන් කරයි.



හෝමාගම හා බණ්ඩාරගම පදිංචිකරුවෝ පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. සොරාගත් භාණ්ඩ අතර හාල්, පොල්, තෙල් ඇතුළු තුනපහ වර්ග වන බවද පොලීසිය සඳහන් කරයි. සැකකරුවන් ඒවා ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.



රෝගීන්ට ලබාදීමට නියමිත මුළුතැන්ගෙයි ගබඩා කර තිබෙන වියළි ආහාර තොග වශයෙන් ඉකුත් කාලය පුරා අස්ථානගතවීම සම්බන්ධයෙන් රෝහලේ පරිපාලන නිලධාරීන්ට රහසිගත අයුරින් තොරතුරු වාර්තා වීමත් සමගම ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පවසා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටි පොලිස් නිලධාරීන් තොරතුරුකරුවන් යොදවා සිදුකළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස හාල් පොල්, පොල්තෙල් තොගයක් ත්‍රිරෝද රථයකින් රැගෙන යාම සඳහා ඒ තුළට දමා ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමගම ඊයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර ත්‍රිරෝද රථයේ හිමිකරුද වන බවද පොලීසිය සඳහන් කරයි.

මහරගම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අසංක පතිරණ ඇතුළු නිලධාරීන් පිරිසක් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

  බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ /මත්තෙගොඩ ශාන්න ප්‍රදීප් කුමාර කුලරත්න