chamodi-sandeepani-death

පේරාදෙණිය රෝහලේ දී එන්නතක් දීමෙන් පසුව 21 හැවිරිදි චමෝදි සංදීපනි මධුෂිකා ජයරත්න නමැති තරුණියක මිය යෑමට හේතුව එම රෝහලේ මිලිලීටර් 10 සිරින්ජර් නොමැතිව මිලිලීටර් 5 සිරින්ජර භාවිත කිරීම නිසා යයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.බී.එස්. මැදවත්ත මහතා ඊයේ (13) පැවසීය.  ඇයට එන්නත් කළ ප්‍රතිජීවක ඖෂධය මිලිලීටර් 10 සිරින්ජරයක දියකර එන්නත් කළ යුතු වුව ද පේරාදෙණිය රෝහලේ පමණක් නොව කොළඹ ජාතික රෝහලේ මිලිලීටර් 10 සිරිලින්ජර නොමැති බව කී මැදිවත්ත මහතා හේතුවෙන් ඇයට එන්නත දුන් හෙද නිලධාරිනිය මිලිලීටර 5 සිලින්ජර දෙකක දෙවරක් එන්නත් කර ඇති බව ද සඳහන් කළේය.



හෙද නිලධාරීනිය එම ඖෂධය මිලිලීටර 5 සිරින්ජරයක දියකර දුන්නේ නම් ඇතැම් විට අධි සාන්ද්‍රණයකින් ලැබීමට ඉඩ තිබූ බවත් ආණ්ඩුව රෝහල්වලට අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ නොදීම මෙයට හේතුව බවත් ඔහු කීවේය. එම තරුණියට එන්නත් කර ඇති ඖෂධය සමස්ත රටේම රෝහල්වල භාවිත කරන ඖෂධයක් බව කී ඔහු හෙද නිලධාරිනියගෙන් කිසිදු වැරදීමක් වී නොමැති අතර එන්නත නියමිත ආකාරයට දී ඇති බව ද සඳහන් කළේය. ඖෂධ ගන්නා සමාගම් මෑතක සිට මාරු කිරීම මෙන්ම එම සමාගම් පිළිබඳව නිසි විශ්වාසයක් නොමැති වීම නිසා කොමිස් හෝ වෙනයම් හේතුවක් උඩ බාල ඖෂධයක් ලබාගෙන ඇති බවට සැකයක් ඇති බවත් ඖෂධ සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධාරීන් සහ ජනමාධ්‍ය අවස්ථා ගණනාවක දී දැනුවත් කිරීමට පියවර ගත්ත ද ආණ්ඩුව පැත්තෙන් ඊට අදාළ කිසිදු කාරණාවක් සම්පූර්ණ කිරීමට කටයුතු නොකළ බවත් හෙතෙම පැවසීය.



හෙද කාර්ය මණ්ඩලය ලෙස ආණ්ඩුව දෙන ඖෂධ රෝගීන්ට දීමට සිදුවී ඇති බව කී හෙතෙම එහිදී ඖෂධයේ ගුණාත්මකභාවය පිළිබඳව කටයුතු කිරීමේ හැකියාවක් හෙද කාර්ය මණ්ඩලයට නොමැති බව ද සඳහන් කළේය. සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.බී.එස්. මැදිවත්ත මහතා කොළඹ දී ඊයේ (13) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
යොහාන් භාසුර