බෝගමුව යක්කල මහල් නිවාස සංකීර්ණයක සිවුවැනි මහලෙන් වැටී මියගිය බව කියන එක්දරු මවගේ මරණය සිදුවූ ස්ථානය ඊයේ (18) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ටිකිරි බණ්ඩාර මහතාගේ නිරික්ෂණයට ලක් විය. කාන්තාව මහල් ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටුණු ස්ථානය මෙන්ම ඔවුන් පදිංචිව සිටි සිව්වැනි මහලේ සියලුම ස්ථානයන්ද මෙහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණි.
මෙසේ සිවුවැනි මහලෙන් පෙරේදා 17 වැනිදා අලුයම 12.30 ට පමණ බිමට ඇද වැටී මියගොස් ඇත්තේ චතුරිකා මධුෂානි නමැති 31 හැවිරිදි එක්දරු මවකි. මිය ගිය කාන්තාව, සැමියා සහ වයස අවුරුදු හතක් වූ දියණිය සමඟ එම පස් මහල් ගොඩනැගිල්ලේ සිව්වැනි මහලේ කුලී පදනම මත සිට ඇත.සිද්ධියට පෙර දිනයේ (16) මියගිය කාන්තාව ඇගේ සැමියා සහ දියණිය රඹුක්කන ප්‍රදේශයේ පිහිටි මියගිය කාන්තාවගේ මුල් පදිංචි නිවසට ගොස් නැවත යක්කල පිහිටි මහල් නිවාස සංකීර්ණය වෙත පැමිණ ඇත්තේ රාත්‍රී ආහාර ද රැගෙනය.
නිවසට ඔවුන් පැමිණෙන විට රාත්‍රී 8 පමණ වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබිණි. එහිදී සැමියා සහ දියණිය ආහාර ගත්තද මිය ගිය කාන්තාව රාත්‍රී ආහාරය ගෙන නොමැති බව අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. පසුව මියගිය කාන්තාව සහ ඇගේ දියණිය කාමරයේ ඇඳ මතට වී සිටි අතර ඇගේ සැමියා නාන කාමරයට ගොස් ඇතැයි ද අනතුරුව සැමියා ද නිදා ගැනීම සඳහා බිරිඳ සහ දියණිය සිටි ඇඳ වෙත පැමිණ ඇති බව ද අනාවරණය වූ බව පොලිසිය කියයි.
දෙදෙනා අතර දිගින් දිගටම ඇති වී තිබූ ආරවුල් හේතුවෙන් එම අවස්ථාවේ කාන්තාව ඇඳෙන් නැගිට කාමරයෙන් පිටවී ආලින්දයට ගොස් එහි පුටුවක් මත වාඩි වී සිට ඇති බව විමර්ශන වලදී හෙළිවී ඇති අතර ඒ වනවිට නිදි ඇඳේ සිට ඇත්තේ ඇගේ සැමියා සහ දියණිය පමණි. ටික වේලාවකට පසුව සැමියා විසින් දියණියට පවසා ඇත්තේ පසුදින දියණියට පාසල් යාම සඳහා අවශ්‍ය ඇඳුම් පැලඳුම් සහ පොත්පත් සූදානම් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට මවට දන්වන ලෙසය . ඒ අනුව දියණිය ආලින්දයේ සිටි මව වෙත ගොස් තිබුණත් ඒ වනවිට මව ආලින්දයේ නොසිටි බව දියණිය පියාට පවසා ඇති බව දියණිය පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මව සොයා දියණිය සහ කාන්තාවගේ සැමියා කටයුතු කර ඇති අතර ඇය මහල් නිවාස සංකීර්ණයෙන් බිම ඇද වැටී ඇති අයුරු එහිදී දක්නට ලැබී ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි. බිම ඇද වැටුණු කාන්තාව බරපතළ තුවාල ලබා සිට ඇති බවත් ඇගේ සැමියා ඇය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බවත් පොලිසිය පවසයි. සැමියා සහ දියණිය කාමරයේ නිදා සිටියදී මියගිය කාන්තාව ආලින්දයේ සිටි බවත් එම අවස්ථාවේ ආලින්දයේ තිබූ බව පැවසෙන එක් පුටුවක් පසුව විමර්ශන සිදු කිරීමේදී ආලින්දයෙන් පිටත පිටුපස කොරිඩෝව මත තිබෙනු දක්නට ඇති බවත් පොලිසිය පවසයි.
එම පුටුව එම ස්ථානයට කාන්තාව විසින් රැගෙන ගොස් පුටුවට නැඟ එම අසල ඇති ජනේලයෙන් පිටතට පැනීමට උත්සාහ දැරුවා ද යන්න සැක මතුවන බව ද පොලිසිය පවසයි. සිව්වැනි මහලේ ආලින්දයේ සිටි කාන්තාව එම මහලින් බිමට වැටීමට නම් ඇගේ සැමියා සහ දියණිය සිටි කාමරය හරහා ඉදිරිපස කොරිඩෝව මතට පැමිණිය යුතුව ඇති අතර ඇය කාමරය හරහා ගමන් නොකළ බව ද දියණිය පොලිසිය හමුවේ පවසා ඇත. ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අදාළ කාන්තාව සිව්වන මහලෙන් ඇද වැටුණා ද එසේත් නැත්නම් වෙනත් මහලකින් ඇද වැටුණා ද යන්න සැක මතුවන බව ද පොලිසිය පවසයි. මෙම පස් මහල් ගොඩනැගිල්ලේ සීසීටීවී කැමරා සවිකර තිබුණ ද ඒවා ක්‍රියාත්මක නොවන බව ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ මෙන්ම අනෙකුත් විමර්ශන නිලධාරීන්ගේ නිරීක්ෂණයේදී හෙළිවිය.
(පුෂ්පකුමාර මල්ලවාරච්චි)
0 Comments