chicken-price-up

කුකුළු මස් කිලෝවක තොග මිල ඊයේ (13දා) සිට රු.200කින් අඩු කළ බවත්, මේ අනුව කිලෝවක තොග මිල රු.1200 ක් බවට පත් වූ බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.





කුකුළු මස් කිලෝවක තොග මිල රු. 1400- රු. 1450 අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබූ බවද, මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව වී තිබුණේ දෛනික කුකුළු මස් ඉල්ලුමට සරිලන ලෙස කුකුළු මස් තොග නොමැති වීම බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.

පසුගිය දිනවල මාළු මිල ඉහළ යෑම නිසා ජනතාව වැඩි වශයෙන් කුකුළු මස් භාවිතයට පෙලඹී ඇත. විවිධ උත්සව පැවැත්වීම නිසාද කුකුළු මස් සඳහා විශාල ඉල්ලුමක් ඇතිවිය. මෙම ඉල්ලුම මේ වන විට ක්‍රමානුකූලව අඩුවෙමින් පවතී. මේ නිසා කුකුළු මස් කිලෝවක තොග මිල රු.1200 ක් බවට පත් වී තිබෙන හෙයින් එම සහනය සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයන් විසින් ජනතාවට ලබා දිය යුතු බව සභාපතිවරයා සඳහන් කළේය.



මව් සතුන්ගේ මිල ඉහළ යෑම, සත්ව ආහාර මිල ඉහළ යෑම හා විදුලිබිල ඉහළ යෑම නිසා කුකුළු මස් කර් මාන්තය යම් අර්බුදයකට ලක් වී තිබෙන බවත්, මේ නිසා ක්ෂණිකව අධික ඉල්ලුමක් ඇතිවූ විට ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීම අපහසු වන බවත් හෙතෙම පැවසීය.
 
ඉන්දික හේවාවිතරණ