child-cancer-vita

වාණිජ මට්ටමේ පැකට්කළ 'විට' කෑම හේතුවෙන් වයස අවුරුදු 20ට අඩු දරුවන්ගෙන් ඉතා කෙටි කලක් තුළ පූර්ව මුඛ පිළිකා රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීමේ තත්ත්වය මෙරට තුළ මේ වනවිට ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන අවධාරණය කරයි.

එම වැඩසහහන පෙන්වා දෙන්නේ, පැකට්කළ 'විට' කා සුළු කලකින් පූර්ව පිළිකා ලක්‍ෂණ පහළ වන බවත්, ඒ අනුව දරුවාගේ තොළ වටා සුදු පැහැයක් තිබේ නම්, එය නව පන්නයේ විට කෑමේ ප්‍රතිඵලයක් ලෙස මතු වන පූර්ව පිළිකා ලක්‍ෂණ වන බවත්ය.



එසේම ගොඩ වෙදකම්වලට යාමෙන් තත්ත්වය දරුණු වන බව පෙන්වා දෙන ජාතික පිළිකා මර්දන වැඩසටහන, සුදුසුකම් නොලත්, එහෙත් වෛද්‍යවරුන් යැයි කියා ගන්නා පාර්ශ්වයන්ගෙන් උපදෙස් ලබාගැනීමට යාමෙන් දැඩි අවදානමක් උද්ගත වන බවද පවසා සිටියි.

වාණිජ වශයෙන් පැකට්කළ 'විට' කෑමේ ප්‍රවණතාවක් මෙරට තරුණ ප්‍රජාව තුළ මේ වනවිට දක්නට ලැබෙන අතර, ඒ අනුව වයස අවුරුදු 20ට අඩු පාසල් දරුවන් ඊට යොමුව ඇති බවට අනාවරණය වී තිබේ. එසේම මෙම තත්ත්වය ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.



හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය අදට (27දා) යෙදී ඇති අතර, ඊට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (26දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිරීමට විෂය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු කටයුතු කළහ.

ඒ අනුව එහිදී අදහස් දක්වමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය උදය උස්ගොඩආරච්චි මහතා ප්‍රශ්න කර සිටියේ, හපන දුම්කොළ හා විට විකිණීම ශ්‍රී ලංකාවේ තහනම් වන නමුත්, නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද යනුවෙනි.

එසේම සෑම දිස්ත්‍රික්කයකම පූර්ව පිළිකා හඳුනාගැනීමේ සායන ඇති නමුත් පැමිණීම අවම වන බවත්, පැමිණියද ප්‍රතිකාර ගැනීම අතරමග නවතා දමන බවත්ය.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික දන්ත රෝහලේ (ශික්‍ෂණ) මුඛ හනුක වක්ත්‍ර විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය ඒ.එච්.ටී.එස්. කරුණාතිලක මහතා පෙන්වා දුන්නේ, මුඛ පිළිකා හා පූර්ව පිළිකා තත්ත්වයේ පසුවන 05-20ත් අතර සංඛ්‍යාවක් ජාතික දන්ත රෝහලට දෛනිකව පැමිණෙන බවයි.

එසේම දිස්ත්‍රික්කයේ හා පළාතේ සෞඛ්‍ය සේවා වෙත යොමු නොවී ජාතික දන්ත රෝහලට පැමිණීමේ ක්‍රමවේදය වෙනස් කළ යුතු බවද ඒ මහතා යෝජනා කර සිටියේය.

• නිදර්ශනි වික්‍රමසිංහ