coconut-oil-issue
‍ෙපොල්තෙල් සඳහා පනවා ඇති තීරුබදු ප්‍රමාණය රුපියල් 25කින් වැඩි කිරීමත් සමග පොල්තෙල් වලට ෆාම් ඔයිල් කවලම් කර විකිණීමේ ජවාරම් ක්‍රියා සිදුවිය හැකි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.


මේ නිසා පොල් තෙල් සඳහා පැන වූ තීරු බද්ද පිළිබද නැවතත් සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, එසේ නොමැති නම් ෆාම්තෙල් සඳහා වන තීරු බද්ද රුපියල් 25කින් වැඩි කරන ලෙස ඉල්ලා සිටින බවත් එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා ප්‍රකාශ කළේය.



පොල්තෙල් බදු ඉහළ යාම නිසා වෙළෙඳ පොළේ පොල්තෙල් මිල ඉහළ යාම සිදු වී තිබෙන බවත්, මේ අනුව පොල්තෙල්වලට ෆාම්තෙල් කවලම් කර පොල්තෙල් ලෙස අලෙවි කිරීම සිදුවිය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.

එසේම පොල්තෙල් මිල ඉහළ යන සෑම අවස්ථාවකදීම පොල්තෙල්වලට ෆාම්තෙ‌ල් කවලම් කර අලෙවි කිරීම සිදු වී තිබෙන බවත්, 2019 වර්ෂයේ පොල් සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව වාර්ෂික අවශ්‍ය වන පොල් ගෙඩි ප්‍රමාණය බිලියන 4.9ක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ගෘහස්ථ පරිභෝප්තයට අවශ්‍ය පොල් ගෙඩි ප්‍රමාණය බිලියන 1.8ක් වන අතර, මෙරට පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව බිලියන 1.8කි.



අපනයනය ආශ්‍රිත නිෂ්පාදනය සඳහා අවශ්‍ය පොල් ගෙඩි සංඛ්‍යාව බිලියන 1.3ක් වන නමුත් වාර්ෂික ලැබෙන පොල් අස්වැන්ත පොල් ගෙඩි බිලියන 3.1ක් බවද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.

මේ නිසා පොල් වගා ප්‍රමාණය ඉහළ දැමීමට සඳහා රට තුළ නිසි වැඩපිළිවෙළ අවශ්‍ය වන බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

 ඉන්දික හේවාවිතාරණ