colombo7-house-peris-property

කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි රුපියල් කෝටි 300 ක් වටිනා​ දෙමහල් නිවසෙහි හිමිකරු කවුරුන්ද? යන්න පිළිබඳ මෙතෙක් නිශ්චිතව අනාවරණ කරගෙන නොමැති බව කුරුඳුවත්ත පොලිසිය, අධිකරණයට ඊයේ (10 වැනිදා) දැනුම් දුන්නේය.

අංක 96, විස්විටයින් පාර, මට්ටක්කුලිය පදිංචි කොලනි ක්‍රිස්ටෝපර් රාජන් යන අය 2023 ජනවාරි 23 වැනිදා බදු ගිවිසුමක් මත රත්නායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර රත්නායක යන අයගෙන් අංක 18, බාන්ස් පෙදෙස පිහිටි නිවස ගෙන ඇති බව අනාවරණ වී ඇතැයිද පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.



මෙම නිවස ‘‘පීරිස් මහත්මියට අයිති නිවසක්’’ බවට සාක්ෂියක් ලැබී තිබෙන බවත්, ඒ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

 ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියදී මියගොස් ඇතැයි කියනු ලබන ඇයට අයත් බව කියන කොළඹ 07 බාන්ස් පෙදෙසේ අක්කර භාගයක පමණ ඉඩමක පිහිටි නිවසක් අත්පත් කර ගැනීමට පැමිණ සිටි පුද්ගලයන් 26 දෙනකුගේ කණ්ඩායමක් කැති පොලු සමඟ කුරුඳුවත්ත පොලිසිය විසින් පසුගිය 07 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම නිවස දෙසින් වෙඩි හඬක් ඇසුණු බවට එදින සවස 6.00ට පමණ කුරුඳුවත්ත පොලිසියට නිර්නාමික දුරකතන ඇමතුමක් ලැබී නිලධාරීන් කණ්ඩායමක් ඒ ගැන සොයා බැලීමට බාන්ස් පෙදෙසේ අංක 18 දරන නිවසට ගොස් ඇත.  නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ වෙඩි තැබීමක් එහි සිදුව නැති බවය. එහෙත් විසි කැති සහ පොලු මුගුරු ගත් පුද්ගලයන් පිරිසක් රැඳී සිටි අතර පොලිසිය යන විට කිහිප දෙනකු පලා ගොස් ඇති බවද සඳහන්ය.

මෙම නිවස ගැන පොලිසිය සොයා බැලීමේදී පෙනී ගොස් ඇත්තේ නිවෙස් හිමියා කාලයක් තිස්සේම ඕස්ට්‍රේලියාවේ රැඳී සිට ඇති බවත් එහිදීම මියගොස් ඇති බවත්ය. ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිකරුවෙක් බවටද විවිධ කටකතා ඇති බව පොලිසියට පෙනී ගොස් තිබේ.



මේ වන විට කැලෑ වැදී මිනිස් වාසයකින් තොරව පැවති මෙම නිවස සහ ඉඩම පිරිසිදු කිරීමේ මුවාවෙන් අත්පත්කර ගැනීමට කිසියම් පුද්ගලයෙකුගේ සැළසුමකට අනුව පිරිසක් මෙහි පැමිණ සිටින බව පෙනී ගිය බැවින් අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාවට එහි රැඳී සිටි පුද්ගලයින් 27 දෙනා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ ගැන වැඩිදුර සොයා බැලීමේදී පෙනී ගොස් ඇත්තේ මෙම ඉඩම සහ නිවස අල්ලා ගැනීමට දෙපිරිසක් අතර තරගයක් පැවති බවය. එහි ප්‍රතිඵලයක් ලෙස එක් කණ්ඩායමක් පිරිසක් රැගෙන විත් එහි රැඳී සිට ඇති බවත් වෙඩි හඬක් ඇසුණු බවට දුරකතන ඇමතුම දී ඇත්තේ අනෙත් කණ්ඩායමෙන් බවද සැකයක් මේ වන විට මතුවී තිබේ.

ඉඩම සහ නිවස පිරිසිදු කිරීමේ මුවාවෙන් මෙම පිරිස සංවිධානාත්මකව මෙහි රැගෙනවිත් ඇති බවත් නිවස සහ ඉඩම අත්පත්කර ගැනීම සැලසුම වී තිබී ඇති බවත් විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.
කුරුඳුවත්ත ඇතුළු ඒ අවට ප්‍රදේශවල පිහිටි මෙවැනි ඉඩම් අත්පත්කර ගැනීම් කාලයක සිට සිදුවන්නකි. පාතාලයේත් දේශපාලනයේත් හයිය ඇතිව සිදුකරනු ලබන මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශනයන් පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක්ද කලකට පෙර ස්ථාපිත කර තිබුණි.

83 ජූලි කලබලය සහ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් කුරුඳුවත්ත ඇතුළු ඒ අවට ප්‍රදේශවල පදිංචි යාපනයට සම්බන්ධකම් කී බොහෝ පිරිසක් රට අතහැර යුරෝපය ඇතුළු රටවල් ගණනාවකම පදිංචියට ගියේය. මෙම ඉඩම් වංචාකරුවන්ගේ ග්‍රහණයට ලක්වන්නේ එවැනි අයගේ ඉඩම් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.



මෙම ඉඩම සම්බන්ධයෙන්ද පොලිසිය කරුණු සොයා බලා ඇතත් වසර ගණනාවක් තිස්සේම මෙම ඉඩම පිහිටි නිවසේ පදිංචියක් තහවුරු නොවන බව එම ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරියාද පොලිසියට තහවුරු කර තිබේ.

අඩුම තරමින් ඡන්ද හිමි නාමලේඛනයේද මෙහි පදිංචිකරුවෙක් සොයා ගැනීමට නොමැති බව සඳහන්ය. ඒ අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන්ව මෙහි ගෙන්වූ පුද්ගලයින් ගැනවත් කිසිවක් නිසි ලෙස පවසන්නේ නැති බව පොලිසිය කියයි. ඒ ගැන විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරුවන් 26 දෙනා අධිකරණය හමුවේ ඊයේ (10 වැනිදා) පෙනී සිටි අතර එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළේය.

මෙම නඩුව ලබන ඔක්තෝබර් 02 වැනිදා යළි කැඳවන ලෙසද අධිකරණය නියම කළේය.