dehiwala-rehab-center

ලියාපදිංචි නොකළ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

දෙහිවල පොලිස් වසමේ,

මල්වත්ත පාර ප්‍රදේශයේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ලියාපදිංචි නොකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන කරනු ලබන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට දෙහිවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් අනතුරුව සැකකරුවන් පෙරේදා (15දා) අත්අඩංගුවට ගත් බවද එම මූලස්ථානය පෙන්වා දෙයි.

අදාළ ස්ථානයේ පුද්ගලයන් 34දෙනෙකු පුනරුත්ථාපනය වෙමින් සිටි බවත්, මෙම පිරිස්වල ආරක්‍ෂාව සඳහා දෙහිවල පොලිස් ස්ථානයේ රැඳවීමට කටයුතු කර තිබෙන බවත් සඳහන් කරන එම මූලස්ථානය, මෙහිදී, එම මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු සහ ඊට සහාය වීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු වශයෙන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවද පොලිස් මූලස්ථානය සදහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 50 සහ 51 වයස්වල පසුවන දෙහිවල හා බොරැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, මේ පිළිබඳ දෙහිවල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වන බවත් පොලිස් මූලස්ථානය පවසයි.
 

ඉන්දික හේවාවිතාරණ/එච්.එම්.ධර්මපාල