දෙහිවල සත්වෝද්‍යානයට පක්ෂීන් වැඩි මිලට මිලදී ගැනීමෙන් රුපියල් දෙකෝටියකට ආසන්න අලාභයක් සිදුවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) විශේෂ අවධානය යොමුවිය.
සතුන් මිලදී ගැනීමේදී නිවැරැදි ඇස්තමේන්තු පිළියෙළ කිරීම අත්‍යවශ්‍ය බව කෝපා කමිටුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට එහිදී නිර්දේශ කළේය.
මේ අතර ඇස්තමේන්තුගත මුදල සහ මිලදී ගත් මුදල අතර වෙනස සියයට 3000ක පමණ අගයක් ගැනීම ගැටලු සහගත බව කෝපා කමිටුව සඳහන් කළේය.
විදේශීය පක්ෂීන් මිලදී ගැනීමේදී (2018 සිට 2020 දක්වා කාලය තුළ) ඇතැම් පක්ෂීන් සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් 50000ක් පමණ වුවද මිලදීගෙන ඇත්තේ රුපියල් කෝටි 15කට බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
මේ අනුව ඇස්තමේන්තු ගත මුදලට වඩා ගෙන ඇති මුදල සියයට 3000ක පමණ වැඩිවීමක් බවද මෙහිදී හෙළිවිය.
පින්නවල අලි අනාථාගාරය, පින්නවල වාගොල්ල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය යන ආයතනවල ගැටලු සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමුවිය.
රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් 900 ක් අතුරින් සතුන් 485 දෙනකුගේ ස්ත්‍රී පුරුෂ බව හෝ හඳුනාගෙන නොතිබීම පිළිබඳවද කමිටු සාමාජිකයෝ විමසූහ. මෙම සතුන් අතුරින් 300කට අධික පිරිසක් ඉන්දියාවෙන් ගෙනා තාරකා ඉබ්බන් බවත් නඩු කටයුත්තක් අවසන් වනතුරු සත්වෝද්‍යානය බාරයේ සිටින බවත් එහි බලධාරීහු පෙන්වා දුන්හ.
මෙම සෆාරි උද්‍යානයේ එක් පශු වෛද්‍යවරයකු පමණක් සිටින බැවින් කඩිනමින් පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.
එසේම ආයතනය සතුව නිසි උපායමාර්ගික සැලැස්මක් නොමැති බැවින් 2024-2030 වර්ෂ සඳහා නව සැලැස්මක් පිළියෙළ කර මෙම වසරේ දෙසැම්බර් 31 වනවිට එහි කටයුතු අවසන් කරන ලෙස ද කමිටුව උපදෙස් දුන්නේය.
මේ රැස්වීමට කමිටුවේ අවසරය මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගි විය. මෙයට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, කාදර් මස්තාන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, විමලවීර දිසානායක, නිරෝෂන් පෙරේරා, ජේ. සී. අලවතුවල, හෙක්ටර් අප්පුහාමි, ජයන්ත කැටගොඩ, ඉසුරු දොඩන්ගොඩ, මේජර් ප්‍රදීප් උඳුගොඩ, වීරසුමන වීරසිංහ සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
0 Comments