dhanushka-gunathilake-sydney

විස්සයි20 ලෝක කුසලානය සඳහා සිඩ්නි නුවර සංචාරයක යෙදී සිටියදී පසුගිය 2022 වසරේ නොවැම්බර් මස මුල් සතියේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක රක්ෂිත බන්ධනාගාරගතවද සිටි අතර පසුව ඇප මත නිදහස ලබා එම චෝදනා නිසාම ඒ කාලයේ සිට මාස 8 ක් පමණ තිස්සේ දිගටම ඕස්ට්‍රෙලියාවේ රැඳී සිටියි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ නවාතැන් සඳහා මෙන්ම බේරාගැනීම සඳහා නඩුවලට වියදම් කරමින් සිටින අතර ඔහු වරින්වර  නඩු වාරයන්ට පෙනී සිටිමින් තම දඬුවම ලිහිල් කරගැනීමට උත්සාහ දරමින් සිටී.
ඕස්ට්‍රෙලියාවේ ප්‍රචලිත ක්‍රීඩාවක් වන නිසාම ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්කගේ සිද්ධිය එරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල නිරන්තර යාවත්කාලකිරීම් සහිතව වාර්තාකිරීමද විශේෂිතය.


අද ජූලි 07 සිකුරාදා ඔහුගේ නඩුව නැවත විභාගයට ගැනුනේ සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේදීය. මේ සඳහා ධනුෂ්ක පැමිණ සිටි අතර ඔහුගේ නීතීඥයා කියා සිටියේ නඩු විභාගයට ජූරි සභාවක් නොකැඳවන ලෙස ඉල්ලා සිටින බවය. විනිසුරුවරයා පමණක් මෙහි තීන්දුව ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර එවැනි නඩු විභාගයක් සඳහා අයදුම්පතක් ගොනු කරන තෙක් නඩු විභාගය ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටියේය.
නඩු විභාගයේදී තම ඉරණම ජූරි සභාවට පැවරීමෙන් වැළකී සිටීමට ඔහු උත්සාහ දරන්නට ඇත්තේ 2022 ජූනි මස ඕස්ට්‍රෙලියාවේ සම්මත කරගෙන තිබෙන කාන්තා අපයෝජන වලට එරෙහි දැඩි නීති වලින් ගැලවීමක් නැති නිසා බවට වාර්තා පළවේ.
ජූරි සභාවක් ඉදිරියේ නඩුව තවදුරටත් විභාගවෙමින් පැවතීමෙන් කාන්තාවට වාසිදායි ලෙස මෙම නඩුව අවසන් වනු ඇතැයි ධනුෂ්කගේ නීතීඥයින් විශ්වාස කර තිබේ.

මෙම වසර මුලදී මෙම නඩුව විභාගයට ගැනුණ අවස්තාවක අපයෝජිත කාන්තාව වෙනුවෙන් පෙනී සිටි රජයේ අභිචෝදකයා ධනුෂ්කට එරෙහිව පැවති චෝදනා 04 න් චෝදනා 03 ක් ඉල්ලා අස්කර ගෙන තිබුණි. ඒ අනුව ධනුෂ්ක, කාන්තාවගේ කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීමේ චෝදනාවට පමණක් මුහුණ දෙයි.



2022 නොවැම්බර් මාසයේදී ටින්ඩර් ඇප් එකින් හඳුනාගත් 29 වියැති සුදු ජාතික කාන්තාවක සමග සිඩ්නි ඔපෙරා බාර් හිදී 32 හැවිරිදි ධනුෂ්ක දවසක් ගත කළ අතර  සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසට ගිය ඔහු ඇයව ගෙල සිරකර කොන්ඩමයක් නොමැතිව දූෂණය කර ඇතැයි චෝදනාවේ දැක්වේ.
ක්‍රිකට් ක්‍රීඩකයා තත්පර 20කට වැඩි කාලයක් ඇයව හුස්ම හිර කර ඇති බවත්, එක් අවස්ථාවක ඇය ඔහුගේ අත ඉවත් කිරීමට උත්සාහ කළ විට ඔහු තවත් තදින් මිරිකා “ඇගේ හුස්ම ගැනීම දැඩි ලෙස සීමා කළ” බවත් පොලිසිය චෝදනා කරයි.
පොලීසිය පැවසුවේ, සිද්ධිය අතරතුර කාන්තාව "තම ජීවිතය ගැන බියෙන් සිටි අතර විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි වූ" බවයි.
නොවැම්බර් 6 වැනි දින අලුයම සිඩ්නි හි හයට් රීජන්සි හෝටලයේදී ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු පිරිස සමඟ ඔහු ශ්‍රී ලංකාවට යාමට නියමිතව තිබියදීය.

අනතුරුව ඕස්ට්‍රෙලියාවේ දීර්ඝ අධිකරණ ක්‍රියාමාර්ගයකට හසුව තිබෙන ධනුෂ්කට විදෙස් ගතවීම ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් තහනම් කර ඇත.
 ජූලි 24 වන දින නැවත ධනුෂ්කගේ නඩුව විභාග වනු ඇත.