drug-abuser-death

හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 135 සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටි පුද්ගලයකුට වවුනියාව මහාධිකරණ විනිසුරු මාණික්කවාසගර් ඉලංචේලියන් මහතා ඊයේ (12) මරණ දඬුවම නියම කළේය. වසර හයකට පෙර ජාවාරම්කරු ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට හෙරොයින් රැගෙනවිත් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයකින් යාපනය සිට  කොළඹට ප්‍රවාහනය කරමින් සිටිය දී වවුනියාව බස්නැවතුම්පොළේ දී පොලිසිය විසින් ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබිණ. එලෙස මරණ දඬුවම නියම වූයේ යාපනය, කයිතඩි, නාවක්කුලි පදිංචි කන්දයියා ත්‍යාගරාජා නමැති 55 හැවිරිදි තැනැත්තෙකි.

2017 වසරේ නොවැම්බර් 09 වැනිදා වවුනියාව කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ එවකට ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්.ජේ. රාජපක්ෂ යන නිලධාරියා වෙත ලැබුණ තොරතුරක් මත විත්තිකරු වවුනියාව බස්නැවතුම්පොළේ රැඳී සිටිය දී අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂාවක දී ගමන් බෑගයේ සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 266ක් සොයාගැනීමෙන් අනතුරුව විත්තිකරු වවුනියාව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත්කර තිබූ අතර එහි හෙරොයින් ශුද්ධ බර කිලෝ එකයි ග්‍රෑම් 135 ක් බවට අනාවරණය විය. මෙම නඩු තීන්දුව ලබාදෙමින් මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේ දී පවසා සිටියේ හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුට නීතිපතිවරයා නගා ඇති සියලු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවය.

විත්තිකරුගේ ක්‍රියාවලින් සමාජයට සිදුව ඇති ඛේදජනක තත්ත්වය සැලකිල්ලට ගනිමින් චිත්තිකරුට මරණ දඬුවම නියම කරන බවත්ය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ දර්ශිකා තිරුකුමාරන් මහත්මිය සහ ආරුමුගම් තනුජන් මහතා ද විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ද පෙනී සිටියහ.
සිතුම් චතුරංග