drug-investigation

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ රජයේ රෝහල්වල භාවිත කෙරෙන්නේ දැයි සෙවීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.  මේ සම්බන්ධයෙන් අප රජයේ  විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ, ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකෙරුණු බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක් ලැබීම සැලකිල්ලට ගෙන, ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවයි.



ෙප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තොරතුරු දිගින් දිගටම වාර්තා වෙමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට වෙනම කණ්ඩායමක් යෙදවීමට ද රජයේ විගණකාධිපතිවරයා තීරණය කර ඇත. මේ අතර, ඖෂධ මිලදී ගැනීම සහ ඒවා බෙදාහැරීම සම්බන්ධ පරිගණක පද්ධතිය පිළිබඳව ද දැනටමත් විමර්ශනයක් කරගෙන යන බව පැවැසූ රජයේ විගණකාධිපතිවරයා, එම විමර්ශන අවසන් අදියරේ පවතින බව ද ප්‍රකාශ කළේය. එම විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කරන බව වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

 සුජිත් හේවාජුලිගේ