drug-issue

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු නවීන් තාරක මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ මේ වෙද්දි රෝහල්වලට අවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බවත් ඇතැම් ඖෂධ තිබුනත් ඒවා තත්වයෙන් බාල ඖෂධ බවත්ය.

“මේ වෙද්දි ඖෂධ වර්ග 190ක් ලංකාව තුළ සම්පූර්ණයෙන් සොයාගන්න නැති අතර ඖෂධ වර්ගවල තොරතුරු අඩංගු පරිගණක පද්ධතියද බිඳවැටී ඇති බව රජය මගින් නිවේදනය කර තිබෙනවා.



තත්වයෙන් බාල නිර්වින්දන ඖෂධ භාවිතා කිරීම නිසා මේ වෙද්දි රෝගීන් රැසක් මරණයට පත්වී තිබෙනවා. මේ සදහා සම්පූර්ණයෙන් සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ  ඖෂධ අධිකාරිය වගකිව යුතුයි“
 නවීන් තාරක මහතා ප්‍රකාශ කලේය.

රෝගීන් මරණයට පත්කළ තත්වයෙන් බාල නිර්වින්දන ඖෂධ ගෙන්වා තිබෙන්නෙ ඉන්දියාවෙන් වන අතර එම නිර්වින්දන ඖෂධ ශ්‍රී ලංකාවට ගෙනආ සැපයුම්කරුවා ජාතික ඖෂධ අධිකාරියේ ලියාපදිංචි නොවූ තැනැත්තෙකි.

රටේ ජනතාව හැම අතින්ම පීඩාවට පත්වෙලා ඉන්න කාලයක කොමිස් මුදල්වලට බාල ඖෂධ ගෙන්වා ජනාතව තවත් පීඩාවට ලක්කරමින් මාරයාට බිල්ලට දෙන්න රජය උත්සහායක නිරතවෙමින් සිටිනබව නවීන් තාරක මහතා ප්‍රකාශ කලේය.



ඖෂධ මෙන්ම ප්‍රතිකාරවලට අවශ්‍ය විකිරණ යන්ත්‍ර සහ වෛද්‍ය උපකරණවලද දැඩි හිගයක් සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ තිබීම හේතුවෙන් රෝගීන් මෙන්ම වෛද්‍යයවරුන්ද දැඩි අපහසුතාවයකට ලක්වී සිටින අතර මේ ගැටළු කිසිවක් සොයාබැලීමට හෝ විසදීමට ආණ්ඩුවේ කිසිදු උනන්දුවක් නැත්තේය.

ආණ්ඩුවට රෝහල්වල ගැටළු විසදීමට උනන්දුවක් නැතිවූවත් පෞද්ගලික වෛද්‍යය විද්‍යාල සදහා සායනික පුහුණුව ලබාදීමට රජයේ රෝහල් වෙන්කිරීමට ආණ්ඩුව සැලසුම්කරගෙන සිටින්නේය.ආණ්ඩුවේ උත්සාහයවන්නේ රජයේ රෝහල් පද්ධතිය දුර්වලකර පෞද්ගලික රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමටද යන්න සැකයක් පවතිනබව” වෛද්‍යයපීට ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු නවීන් තාරක මහතා පැවසුවේය.