පසුගියදා කොළඹ බොරැල්ල හරස් පාරේ පිහිටි පුද්ගලික නිවසක ගේට්ටුවට කිසියම් පිරිසක් වෙඩි තබා සිදුරු කර පළායාම සම්බන්ධ විමර්ශනය කළ පොලිසියට එම සිදුවීමේ වැඩිදුර තොරතුරු අනාවරණය කරගන්නට හැකියාව ලැබී තිබේ.
ඩීඑස්අයි (DSI) පාවහන් සමාගමේ විධායක අධ්යක්ෂවරයාගේ නිවසට මේ ආකාරයට පහරදීමක් කර තිබෙන්නේ පවුලේ ව්‍යාපාරික ආරවුලක් මත බවටත් වෙඩි තැබීම සිදුකර ගෙන ඇත්තේ නිවස හිමි පුද්ගලයාම බවටත් දැන් තොරතුරු අනාවරණයවී තිබේ. වෙඩි තැබීම සිදු කරගත් සජිත් රාජපක්ෂ මහතා DSI සමූහ ව්‍යාපාරය ගොඩනැගූ සැම්සන් රාජපක්ෂ මහතාගේ මුණුපුරාය.
ටී-56 ගිනි අවියකින් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විධායක අධ්යක්ෂ ඇතුළු සිවුදෙනකු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනා අතර, සේවය අත්හිටවූ හමුදා සෙබළකුද විධායක අධ්‍යක්ෂගේ රියදුරු සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාද සිටින බව පොලිසිය පවසයි.
සැකකාර විධායක අධ්යක්ෂ විසින්ම සැලසුම් කර ලබා දුන් රුපියල් ලක්ෂ 10 ක කොන්ත්‍රාත්තුවක් මත කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමට යොදාගත් එම ටී- 56 ගිනි අවිය, මැගසින් 2ක් සහ ජීව උණ්ඩ 64ක් ද සෙබළාගේ කිරිඳිවැල නිවසේ අල්මාරියක
තිබී පොලිසිය බාරයට ගෙන ඇත. ඉකුත් 22 වැනිදා අලුයම 5.30ත් 6.00ත් අතර කාලය තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, විධායක අධ්යක්ෂ මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.
මෙම වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත පැවරිමෙන් පසු ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන ඇතුළු සියලු විමර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර හෙළි කරගත් තොරතුරු අනුව විධායක අධ්‍යක්ෂගේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු දුන් තොරතුරු අනුව මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙය සිදු කළ සැකකාර හමුදා සෙබළා කිරිදිවැලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
මෙම සෙබළා ගිනි අවි නීතිවිරෝධීව සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මින් ඉහත අත්අඩංගුවට පත් අයෙකි. එම නඩුව නිසා ඔහු හමුදා සේවයෙන් පහ කර ඇත.
ගිනි අවිය බෑගයක දමාගෙන 22 වනදා බස් රථයකින් කිරිඳිවැල සිට බොරැල්ලට පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.
විධායක අධ්යක්ෂවරයා යනු ඩීඑස්අයි නමැති පවුලේ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ මුණුපුරෙකි. මෙම ව්‍යාපාරයේ අනෙක් ප්‍රධානීන් අතර DSI සමූහ ව්‍යාපාරය ගොඩනැගූ සැම්සන් රාජපක්ෂ මහතාගේ දරු මුනුපුරන් කිහිපදෙනෙකු වන අතර ඔවුහු මොහුට සමීප ඥාති සම්බන්ධකම් ඇති අය වෙති. මෙම ව්‍යාපාරය සහෝදරයින් කිහිපදෙනෙකු එක්ව පාලනය වන්නකි.
නිවසට වෙඩි තබාගත් විධායක අධ්යක්ෂවරයාට අවාසි වන අන්දමේ යෝජිත විශේෂ ව්‍යාපෘතියක් භාරදීමට නියමිතව තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ඉකුත් 22වැනිදා සවස කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබී ඇතැයි පැවැසේ.
එයට යම් බලපෑමක් එල්ල කිරීම සඳහා මෙම වෙඩි තැබීම සැලසුම් කළ බවට ප්‍රධාන සැකකරු වන විධායක අධ්යක්ෂගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බව පොලිසිය පවසයි.
සැකකාර විධායක අධ්යක්ෂ රුපියල් ලක්ෂ 10ක මුදලකට මෙම සැලසුම් කර ඇති අතර, ඒ වෙනුවෙන් ලක්ෂ නවයහමාරක මුදලක් සැකකරුවන්ට ලබාදී ඇති බවට ද පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගෙන පැය 48 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම සියලු
තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
0 Comments