electricity-bill-sms

විදුලිය භාවිත කිරීමට අදාළ බිල්පතක් ලබා නොදී එස් එම් එස් පණිවිඩයක් මගින් විදුලි ගාස්තු දැනුම් දීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ක්‍රියාව මගින් ගැටලු රැසක් නිර්මාණය වන බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

මේ නිසා මෙම සැලසුම් අවලංගු කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමෙන් ලිඛිතව ඉල්ලා සිටි බවත්, විදුලිය භාවිත කර ඇති ප්‍රමාණය ගණනය කිරීම සඳහා සෑම නිවසකටම නියෝජිතයකු යන නිසා කුඩා කොළ කැබැල්ලක හෝ විදුලිය භාවිත කර තිබෙන ප්‍රමාණය හා  ගාස්තුව සටහන් කර ලබා දිය යුතු බවත් එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේය.



සෑම පාරිභෝගිකයකුම සතුව දුරකථනයක් නොමැති බවත්, මේ නිසා මෙවැනි පාරිභෝගික ජනතාවට තම විදුලි බිල දැන ගැනීම සඳහා ක්‍රමවේදයක් නොමැති බවත්, මීට අමතරව විවිධ හේතු නිසා දුරකතනයක් තිබෙන පුද්ගලයකුට වුවද අදාළ පණිවිඩය නිසි ලෙස නොලැබී යා හැකි බවත් හෙතෙම පැවසීය.

විවිධ හේතු නිසා දුරකථන අංකය දින කිහිපයක් වුවද විසන්ධි වී තිබිය හැකිය. මෙවැනි කාරණා නිසා කෙටි පණිවිඩ පරිභෝගික ජනතාවට නොලැබේ. යම් ලෙසකින් විදුලි බිල නොගෙවීම මත විදුලිය විසන්ධි කළහොත් නැවත සම්බන්ධතාව ලබා දීම සඳහා රු.3000ක මුදලක් අය කෙරේ. මේ අනුව රුපියල් 2000ක බිල්පතක් වෙනුවෙන් නැවත විදුලිය ලබා ගැනීමට රු.5000ක මුදලක් ගෙවිය යුතු වන බවත්, මේ නිසා කෙටි පණිවිඩ වලට අමතරව විදුලි බිල සටහන් කළ කුඩා බිල්පතක් හෝ ජනතාවට ලබා දිය යුතු බවත් ලේකම්වරයා සඳහන් කළේය.

එච්. අයි. තුෂාර